උණ හැදුනත් නිකන් ගේ ඇතුලේ විවේක ගන්න බැරි හැටි

ටිකක් විතර උණ අරන් අඩුවුනා විතරයි. ටිකක් කිව්වේ 102ට විතර. මට ඉතින් ඉන්න බෑනේ නලියනව. ඉතින් වෙන කවරදාකදී වගේ මම අදත් මගේ දුප්පත් කැමරාවත් අරන් වත්ත පිටියේ ඇවිද්දේ අලුත් දේවල් ඇති කියල බලාපොරොත්තුවෙන්. මගේ තනියට මාත් එක්ක කවදත් ගියේ Nikon D90 කැමරාව. Macro Lens එකක් ගන්න හීේ තාමත් හැබෑ කරගන්න බැරි වුන නිසා වෙනසකටත් එක්ක අනිත් ලෙන්ස් පැත්තක දාල Nikkor 50mm 1.8G එකයි 68mm extension tube set එකයි අටවගෙන Tripo TR-950 speed light එකත් අටවගත්තා. ටිකක් එහේ මෙහේ යද්දි හම්බුනා two-striped jumper (Telamonia dimidiate) පිරිමි සතෙක්.. පින්තූර ගනිද්දී තේරුණා මෙයා ටිකක් මගේ තියෙන ලයිට් එකෙන් ආලෝකමත් කිරීම සාර්ථක මදි කියල. ඉතින් මම කලින් හදපු Light controllers එක්ක ට්‍රයි කරල බැලුවා. හරි ගියේ නැහැ. මොනවා වුනත් කමක් නැහැ කියල පටන් ගත්තා අලුත් එකක් හදන්න.

 
මගේ කැමරාවයි ගැජට් ටිකයි
මුලින්ම හදපු light director එක ටිකක් බරයි ඒ නිසා අයින් කලා
දෙවැනියට හැදූ එක සාර්ථකයි නමුත් 18-105mm ප්‍රමාණයේ ලෙන්ස් එකකට
අලුතින් හැදූ එක ඉතා සාර්ථකයි


විනාඩි 15ක් 20ක් විතර යද්දි මම මගේ light control diffuser එකත් අරගෙන එද්දී ටිකක් විතර කණගාටුදායක දෙයක් වෙලා. ඒ තමයි මම පින්තූර ගන්න බලාගෙන හිටපු two-striped jumper Spitting Spider (Scytodes lugubris) කෙනෙක් එයාගේ ගොදුර බවට පත්කරගෙන. ගොදුර ඔතපු විදිහ දඩයම භක්‍ෂණ විදිහ නම් Spitting Spiderට විශේෂයි.

කොහොම වුනත් දෙන දෙයියෝ ගෙදරට ගෙනත් දුන්නා වගේ මම අනිත් වැඩ පැත්තක දාල ගොදුරු වුන කෙනෙගෙයි ගොදුරු කල කෙනාගෙයි පින්තූර ටිකක් ගත්තා. අවසානයේ දී වත්ත පුරා විවිධ සත්තු පින්තූර අරන් කලුවර වැටෙද්දී ගෙට ගොඩවුනේ අසනීපකාරය ගෙයි ඉන්නේ නැතුව පින්නේ ඇවිදල මොකක් හරි කරගනිං කියල ආදර වදනින් සංග්‍රහ කලාට පස්සේ තමයි. =D

මෙන්න ගත්තු පින්තූර කීපයක්





සොබාදහම අපූර්වව වන්නේ අප එය දෙස බලා සිටීමෙන් නොව අප එය තුල ජීවත් වීමෙනි.

Wonder of nature is felt by living within it not by watching.



පැනොරාමා එකක් එහෙම නැතිනම් පරිදර්ශන ඡායාරූපයක් හදාගන්නේ කොහොමද?

දන්න අය පැත්තක තියල නොදන්න අයට මුලින්ම කියන්නම් පැනොරාමා ඡායාරූප කියන්නේ මොනවද කියල. පැනොරාමා කියන්නේ අපි දකින විශාල පලල් දර්ශනයක් ඡායාරූපගත කර ගන්න එකට. ඒ වගේ ඡායාරූපයක පළල හා උස අතර අනුපාතය සාමාන්‍යයෙන් 2:1, 4:1 හෝ 10:1 වගේ වුනත් භාවිතා වෙනවා. පළල වැඩි මෙන්ම උස වැඩි පැනොරාමා නිර්මාණත් දැන් දැන් දකින්න පුළුවන්. අංශක 360ක් වන පැනොරාමා ඡායාරූපත් දකින්න පුළුවන්. ‍දැන් දැන් ගෝලීය ඡායාරූපත් දකින්න පුළුවන්.

පැනොරාමා ඡායාරූපයක් ගන්න විශේෂ වුන උපකරණ තියෙනවා. ඒ වෙන්වෙන්ම සැකසූ ලෙන්ස්, ත්‍රිපාද වැනි උපකරණ තියෙනවා. නමුත් අපි දන්න දුරකථන වල හා පොඩි කම්පැක්ට් වර්ගයේ කැමරාවල පැනොරාමා කියල සැකසුමක් තියෙනවා. එය භාවිතා කරල එකවර අවසන් සැකසුමේ ඇති පැනොරාමා එකක් ගන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් පැනොරාමා එකක් ගනින්දී අපි ඡායාරූප කීපයක් එකිවනක අතිපිහිත වෙන විදිහට ගන්නවා. උදාහරණ විදිහට මේ පහල පින්තූර පෙල වගේ.
මේ පින්තූර ගනිද්දී පරිස්සම් වෙන්න ඕන දේ තමයි එක පින්තූරයට තියෙන පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි කොටසක් අනිත් පින්තූරයේ තියෙන්න ඕන. දැන් නම් මේ පින්තූර ටික Photoshop අලුත් version එකක් භාවිතා කරල පහසුවෙන් සකස ගන්න පුළුවන්. නමුත් ඉස්සර එකින් එක අරන් බොහෝම සීරුවට තියල හදාගත්තේ. ඒ විදිහට සකස් කල අවසන් පින්තූරය වමන්න මේ වගේ වේවි.

ඵලවෙනිම දේ නිවැරදිව ඡායාරූප ටික ගන්න එක. ගොඩක් හොඳයි ත්‍රිපාදයක් භාවිතා කරනවා නම්. නමුත් එහෙම නැතත් බොහෝම සීරුවෙන් ඡායාරූප ගත්තා නම් පහසු වේවි.

ලිපියේ වැදගත්ම දේ තමයි දුරකථන කැමරා හෝ කුඩා කම්පැක්ට් කැමරා වර්ග භාවිතා කරන අය ඒකේ තියෙන ලේසි ක්‍රමය වෙනුවට වෙන වෙනම ඡායාරූප අරන් අතිපිහිත කරල ඡායාරූපය සකස් කරන්න බලන්න. ඉස්සර ආපු සමහර කැමරා වල පැනොරාමා හදන්නේ වීඩියෝ එකක් වගේ රෙකොඩ් කරල අවසානයේ එය තුල අතිපිහිත කරල. ඒ නිසා ඡායාරූපයේ ගුණාත්මක බව ගොඩක් අඩු වෙනවා. දැන් දැන් නවීන තාකෂණය තිබුනා වුනත් සාර්ථකත්වය වැඩි ඡායාරූප පෙලක් අරන් පසු සැකසුමක් කරගන්න එක තමයි.

මෙන්න මේ විදිහෙන් ගත්තු ඡායාරූප ටික Photoshop වලට ගන්නේ මෙන්න මෙහෙමයි.‍
File --> Automate --> Photomerge කියන ඔප්ෂන් එක භාවිතා කරල විවෘත කරගන්න ඕන. එතැනදී අපි  පැනොරාමා එක වෙනුවෙන් ගත්තු සියලු පින්තූර select කරල විවෘත කරගන්නවා.


දෙවැනුව layout එක තොරාගෙන Blend images together කියන තැන සකතුණු කරල OK කරන්න ඕන. මෙතැනදී මම භාවිතා කරන්නේ Auto කියන Option එක. දැන් Ok කලා නම් Photoshop වලින් මේ පින්තූර ටික එකක කරල දෙනවා. එතැනදී Layers ගොඩක් හමුවෙන නිසා වැඩි වැඩ දාන්න කලින් ඒ ටික Select කරල Ctrl + E එහෙමත් නැතිනම් right click කරල Merge Layers කියන එක select කරා නම් හරි. දැන් ඔයාල ගාව තනි පින්තූරයක් තියෙනවා.

ඊට පස්සේ Edit Transform කියන එක භාවිතා කරල ඇද නිවැරදි කිරීම් සහ Filter --> lens correction භාවිතා කරල Distrote වෙලා තියෙන තැන් ටික නිවැරදි කර ගන්න පුළුවන්. දැන් අවශ්‍ය crop එක දාල අඩුපාඩු තැන් තියෙනවා නම් clone stamp tool එක භාවිතා කරල හරි ඒ තැන් select කරල Edit --> Fill කියන එකේ content Aware කියන තැනින් හරි සකස් කරගන්න පුළුවන්.
මෙන්න මේ විදිහෙන් තමයි අපට ඡායාරූපය ලැබෙන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ අවශ්‍ය විදිහට වර්ණ සකසා ගනිමින් සාමාන්‍ය ඡායාරූපයක් විදිහට සංස්කරණය කරන එකයි.

මම මේ උදාහරණ දීලා තියෙන්නේත් මම දුරකථනයෙන් ගත්තු ඡායාරූප පෙලක්. මේ තියෙන්නේ මම අවසන් කල ඡායාරූපය.

මතක තියාගන්න අපි ගන්න ඡායාරූප පෙල බොහොම ප්‍රවේසමෙන් ගත්තා නම් අපිට අවසානය ගොඩක් හොඳ ඡායාරූපයක් සකසා ගන්න පුළුවන්.
ජංගම දුරකථනයෙන් ගත් පැනොරාමා ඡායාරූප..

මේ තියෙන්නේ එහෙම හදපු ඡායාරූප ටිකක්...
ගෝලීය පැනොරාමා ඡායාරූපයක්...
Nikon D90 කැමරාවකින්
ජංගම දුරකථන කැමරාවකින්
මේ වගේ ඡායාරූප තවත් බලන්න මෙන්න මේ ලින්කුවෙන් මගේ facebook පිටුවට යන්න...
https://www.facebook.com/290947054418927/photos/?tab=album&album_id=451910734989224

මේ ලිපිය ගැන ගුණදොස් යෝජනා තියෙනවා නම් කමෙන්ටුවක් විදිහට දාන්න. ලිපියේ උදව්වෙන් ‍ඉගෙන ගත්තු දේ කමෙන්ටුවක් විදිහට දාන්න.. ඔයාල පල කල තැනක ලින්ක් එකක් විදිහෙන් හරි කමක් නැහැ.. එහෙම නම් තව ලිපියක් ලියනකම් ජයවේවා ඔයාලට....


මගේ ගමන් බිමන් අනූ හත්වැනි කොටස - ලවර්ස් ලීප් ඇල්ල_හාවාඑළිය

පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල එහෙමත් නැතිනම් පෙම්වතුන් පැන්න ඇල්ල. නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාඑළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා. නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන. නුවර එළියට පානීය ජලය ලබාදෙන්නේ මේ ඇල්ලෙන් නිසා ඒ වෙනුවෙන් තනපු තටාකයකුත් ගමනේදී දකින්න පුළුවන්.
ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වෙන මේ දිය ඇල්ලේ උස මීටර 30ක් විතර. අඩි පාර දිගේ ඉහලට ඇවිත් දිය ඇල්ලේ පාමුලට වෙනකම් එන්න පුළුවන්. ඒත්  වැහි කාලයේදී නම් ඒ ගමන ඒ තරම් සුන්දර නොවන්නේ කූඩැල්ලන් හා ගමනේ ඇති ලිස්සන සුළු මාර්ගයේ ඇති අවධානම නිසා.
 
 
 
 
මේ දිය ඇල්ලේ නම සැදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්. අතීතයේ සිටිය කුමාරයෙක් මේ අවටින් යද්දී ඉතා ලස්සන තරුණියක් දැක ආදරයෙන් බැ‍ඳෙනවා. නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම් වැසියෙන් නිසාලු. කුලයෙන් හීනයන් සමඟ විවාහ වනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලාගන්න. කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම ‍එනවා. තවත් යාහැකි මඟක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සියදිවි හානිකරගන්නවාත ඒ නිසා මෙයට ආදරවන්තයින් පැන්න ඇල්ල එහෙමත් නැතිනම් ලවර්ස් ලීප් කියන නම ලැබුනේලු. ගම් වැසියන් කියන විදිහට නම් දිය ඇල්ල බලන්න හවස් යා‍මයේ යන එක නම් හොඳ වැඩක් නෙවෙයි.
 
 
 
 
 
දිය ඇල්ල පාමුලට එද්දී නුවරඑළිය නගරය අපූරුවට දකින්න පුළුවන්. ඒ කාලයේ සැමුවෙල් බේකර්ස් විසින් බියර් සැකසූ කර්මාන්ත ශාලාව අද නුවරඑළිය රෝහල ලෙස වෙනස් කර ඇති අතර ජේම්ස් ටේලර් විසින් තේ සිටවූ වතුයාය අදත් දැකිය හැක. අවට ගම් වැසියන්ගේ විවිධ වගාවන් අතරින් දිවෙන මාර්ගයෙන් සැදි දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා. ආවේණික සත්ත්ව විශේෂ ගනනාවක් සිටි මේ දිය ඇල්ල අවට පරිසරය රැකගැනීම ඔබේත් මගේත් යුතුකමක්ම වන්නේය.
 

මා දුටු ලාල් හෑ‍ගොඩ...

අත්දැකීම් ලියන මම කෙනෙකුගේ චරිතාපදානයක් ලියන්නේ කලාතුරකින්. නමුත් මේ අත්දැකීම මම ඔයාලට ලියුවේ නැතිනම් මගේ අත්දැකීම් වල ලොකු හිඩසක් තිබ්බා වගේ වෙනවා. මීට ගොඩක් කලින් ලියන්න හිටි ලිපියක් වුනත් මගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් වුන හෑගොඩ සර්ගෙන් ලැබෙන ඩිප්ලෝමාව අතට ලැබෙනකම් හිටියා. මෙන්න ඒ කතාව.
 
දැන් තිබෙන සමාජය කැමරාවත් අතින් ගත්තු කෙනෙක් ඡායාරූපශිල්පියෙක් වෙන එකක්. එහෙම සමාජයක ඒක වෙනස් කරල ඡායාරූප ශිල්පියා සහ කැමරාකාරයා කියල දෙන්නෙක් වෙන් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමාගේ ඉගැන්වීම් ඔස්සේයි. කලාව පියපුතු ආරයට ඇවිත් ඉගැන්වීමත් ඒ විදිහෙන්ම පිහිටපු අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමා තමයි.

1950දී ශ්‍රී ලංකා ජාතික ඡායාරූපකලා සංගමය ආරම්භ කරන විල්සන් හෑගොඩ ශූරීන් සිංහලෙන් ලංකාව පුරා සිටින්නවුන්ට ඡායාරූපකරණය හදාරන්න මඟ සලසන්න පුරෝගාමී වෙනවා. කැමරා සඟරාව ආරම්භ කරමින් එය රට පුරා ප්‍රචලිත කල එතුමා අගනුවර කවි සමාජය ඇති කිරීමේදීත් පුරෝගාමී වෙලා තියෙනවා.  කවි පොත් ලියා තිබෙනවා. එතුමා ගේ පුත් ලාල් හෑගොඩ ගුරුවරයෙක් වෙන්නේත් ඒ ආභාශයෙන්මයි.

ගරු නම්බුනාම රැසක් නමට යටින් දාන්න තිබුනත් හැමදාම ලාල් හෑගොඩකියල විතරක් පොතක ලියන කවියත් ඡායාරූප ශිල්පයත් දෙකක් නොව එකම මඟක දෙතැනක් කියල දකින නිහතමානී චරිතයක් නම් හෑගොඩ සර් තමයි. සර් කියන සර්ගේ කතාව මම කියන එක ලස්සන නෑ. සර්ගේ තාත්තගෙන් පටන් අරන් සර් පන්ති කරන අද දක්වා කියවෙන ඒ කතාව ආයේ ආයේ අහන්න ඒ දවසට පන්තියේ වාඩිවෙන්න තියේ නම් කියල හිතෙන වාර අනන්තයි. එක්දාස් නවසිය බර ගනන් වල කලුසුදු ඡායාරූපයකින් ආරම්භ වෙලා වර්ණ ලොකෙට විනාඩි කීපයකින් අරන් ආවත් ඒ විනාඩි ගාන අවුරුදු ගානක් එතැන හිටියා වගේම අහන්න හෑගොඩ සර් අපිව පොලඹවන්නේ කලාකාරයෙක් කියන්නේ කවුද කියල උදහරණයක් නොකියාම පෙන්වමින්.
පින්තූරයක් අරන් කොට්ටේ යන තියා ගන්න එපා. ඒක කාට හරි පෙන්වන්න ඕන. කොහේ හරි පල කරන්න. නැතිනම් ඒකෙන් වැඩක් නෑනේ කියන හෑගොඩ සර් ඡායාරූප ශිල්පය හදාරන අතරතුර තවත් කලාවන් හදාරන්න කියල උපදෙස් දීලා දවසේ පාඩමේ අතරතුර වෙනත් කලාවක් වෙනුවෙන් ඉඩහසර වෙන් කරනවා. කවියක්, සිංදුවක්, වේදිකා නාට්‍ය ගීයක්, නූර්තියක් අරන් ඇවිත් ඒක අපිට විඳින්න සලස්වලා අදම අලුතින් අහන්න වගේ විඳිමින් පුටුවට ගුලිවෙන්නේ අපිවත් ඒ රිද්මය තුල සම්පූර්නයෙන් අතරමං කරල ඔහුත් ඒ තුල ගිලෙමින්. පද පෙල අවසන එහි අරුත පදයෙන් පදය පහදන්නේ ඒ තුල වින්දනයේ උපරිව වශයෙන් යෙදෙන ගමන්මයි. විටෙක සිනාවත් විටෙක කඳුලු ඔහුගේ ඇසින් ගලද්දී එය පිසලා සැනින් ඊලඟ පද පෙල අතර ඒ කඳුල සඟවන්නේ කලාවට කල හැකිදේ උපරිම වශයෙන් උදාහරණ පෙන්වමින් විතරක්ම නෙවෙයි කලාකරුවෙකුට කලාව තුල කෙතරම් වින්දනයක් ලබන්න පුළුවන්ද කියලත් පෙන්වමින්.

හැමදේම Auto තියෙන කැමරාවකින් පින්තූරයක් ගන්න එක කජ්ජක්ද අහන ඔහු, කැමරාවේ සෙටින්ග්ස් එකක්වත් නොකියා අපිට කැමරාව පුරුදු කරන්නේ අපි කල යුතු මඟ නිවැරදිව පෙන්වන මාරගෝපදේශකයෙකු වගේ. පුංචි පුංචි ගෙදර වැඩ දෙන ඔහුගේ අභ්‍යාසයන් මුලින් කරද්දී හිතෙන්නේ වැඩුනු අපි මොකට මේක කරවද කියලයි. නමුත් ඒ තුල නිවැරදි ලෙස ගමන් කරද්දී අපි රාත්‍රී අඳුරේ ඉඳන් කෙමෙන් උදෑසන හිරු පායනවා වගේ දැනෙන්නට පටන් ගන්නවා. අවසන් පරීක්‍ෂණයේ ඡායාරූප අරන් ඉවර වෙද්දී ආරම්භයේ සහතික හොයාගෙන ආව අපිට අවසානයේ සහතිකයක් මොකටද කියලත් හිතෙනවා. 

එතැනින් ඩිප්ලෝමාවට අයදුම් කරන්න සුදුසුකම ලැබෙන අපි සර් කියන පින්තූර ගාන දෙන්න ඕන. ඒක තමා අමාරුම ටික දහස් ගානක් පින්තූර ගත්තා වුනත් ඒ පින්තූර ටික ගනිද්දී නම් දැනෙන්නේ කලාකරුවාගේ අභ්‍යන්තරය අතට අරන් පොලිෂ් කරනවා වගේ. ඒකනම් කජ්ජක්ද කියල හිතන අය හිටියත් සර්ගෙන් ඉගෙනගත්තු 10000කට ආසන්න ගානක සිසුන් අතර ඩිප්ලෝමා තියෙන්නේ 17යි (මම තමා 17වැනියා :P) ඒක පුරාජේරුවක් නම් නෙවෙයි ඒ කඩඉම පසුකරන කෙනෙකුගේ හැදෙන කලාව කොයිතරම් සියුම්ව තෝරාගන්නවාද ඔහු කලාකරුවෙක් ලෙස ලෝකයාට හඳුන්වා දෙද්දී ඔහු කෙතරම් පරෙස්සම් සහගතව ඔහු කලාකරුවෙක් ලෙස නිමවනවාද යන්නෙහි මිනුම් දන්ඩ එය කියලයි මම නම් හිතන්නේ. අමාරු පරීක්‍ෂණ අවසානයේ බිහිවෙන කලාකරුවා තුල නියමාකාර කලාකරුවකු තුල තිබිය යුතු සියලු දේ අන්තර්ගත කරන්න ඔහු මාස ගනන් අවුරුදු ගනන් ගත කරන ඩිප්ලෝමා අපේක්‍ෂකයා විවිධාකාර පරීක්‍ෂණ වලට භාජනය කරනවා. එය තේරෙන්නේ අවසන ජය ගත්තෙකුට විතරමයි කියලයි මට හිතෙන්නේ. 

රොබෝවෙක්, හදවතක් මනසක් ඇත්තෙකු කරන්න ක්‍රමානුකූල ඉගැන්වීම තුලින් මහත් වෙහෙසක් දරන ලාල් හෑගෙඩ ගුරු පියාණන් ඔහු නැතත් කලාව රකින්නට පොත් පත් ගනනාවක් ලියල තියෙනවා වුනත් ඔහු කරන ඉගැන්වීමේ අපූර්වත්වය විඳින්න නම් එතැන ඉන්නම ඕන. අපි ගන්න පින්තූරයක් ගුණ අගුණ කෙලින්ම කියල ඒක හදාගන්න හැටි කියාදෙන ගමන්ම ඒ පින්තූරයේ පසුබිම් කතාවත් අහන්න අමතක කරන්නේ නෑ. ඒ මගින් පින්තූරය ගන්න තව මංපෙත් කියාදෙනවා. පින්තූරය එතැනින්න නොනවත්වා එය කලාත්මක කරන්න මඟ පෙන්වන්න පටන් ගන්නේ ඊටත් පස්සේ. කෙ‍නා ගැන නොවී පින්තූරය ගැන කතා කරන සර් හිටිගමන් සමහර පින්තූර දිහා විනාඩි ගනන් බලන් ඉන්නේ එය විඳින ගමන්ම ඒ තුලින් නිර්මාණ කරුවාගේ වපසරිය මැනෙවින් හඳුනගන්න පුළුවන් නිසා වෙන්න ඇති කියලත් මට හිතෙනවා. 

මගේ ගුරුතුමාව මම දැක්කේ එහෙමයි..