දෙමළ උත්සව

මේක මගේ දෙමළ යාලුවෙක්ගෙන් ගත්තු අදහස් ටිකක් හා එයා කිව්ව දේවල් එයාලගේ උත්සව ගැන. මේක ටිකක් විතර දිග ලිපියක්. ඒත් දැනගන්ට එක්ක කොටන්නම්. මේක පටන් ගන්ට ඉස්සර මට මතක් වුනා ඒ දෙමළ යාලුව කිව් කතාවක්. ‍දෙමල අය කියනවලු මෙහෙම "දෙමළා නැති රටකුත් නැහැ දෙමළට රටකුත් නැහැ" ඒ වාගේම මේකේ අඩුපාඩු හරි වෙනස්කම් හරි කරන්න තියෙනවානම් දාන්ට කොමෙන්ට් එකක්.

මේ අය මේ උත්සව සඳහා ලංකාවේ විවිධ දිශාවල රැකියා සඳහා ගිය අය, විදේශ ගතවුනු අය සියල්ලන්ම පැමැණෙනවා. ඔවුන් පන්තිභේද නැතිව හැකි උපරිම අයුරින් මේවාට දායකත්වය සපයනවා.එවුන් මේ උත්සව සිදු කරන්නේ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න වගේම තම ජනතාව අතර සතුට සමාදානය ඇතිකරවන්න. ඒනිසා ඔවුන්ගේ ජීවිත වලට මේ උත්සව අත්‍යවශ්‍ය අංග වෙනවා.

මම මේවා එකින් එක විස්තර කරන්නම්.

1) තිරුවුලා (Thiruvulla)

මේක පවත්වද්දී තම දෙවියන් වන පුල්ලේයාන් දේව ප්‍රතිමාව කෝවිලෙන් එලියට ගෙන එනවා. කහවතුරෙන් දේව පුතිමාව නාවල ඒක සරසනවා.

ගමේ සිටින සියලු දෙනාම නාල පිරිසිදු වෙලා එනවා. ඊට පස්සේ දේව ප්‍රතිමාව හැම නිවසකටම වඩම්මනවා. ඒක කරන්නේ දේව භක්තිය හිස දරාගෙන. ඊටත් පස්සේ එයාලගේ සංස්කෘතික වාද්‍ය භාණ්ඩ වලින් සංගීතය සපයමින් පවත්වන නැටුම් ගැයුම් තමා. සමහර විට කතරගම ගිය අය දැක්ක දේවාලෙ උත්සවය වගේ තමා. කටු වලින් සම විදල එල්ලන් යනවා. ඇ‍ඟේ තැන තැන උල්කටු අනිනවා. සමහර විට මේ අය තම ගම වටා පෙරහැරක් විදිහට මේ අය අරගෙන යනවා. එරමිණිය ගොතාගෙන තැනින් තැනින් කටු ගහල එල්ලන් යනවා. ඒ වාගේම පිටේ කටු ගහල එල්ලන් යනවා. මේවා අපට නම් ඇඟ කිලිපොලා යන දේවල්. ඒත් එයාලට ඒවා සාමාන්‍ය දේවල්.

මේ අතරේ කාවඩි වාදනය කරමින් නැටුම් ගැයුම් තමා. ගැහැණු පිරිමි තරුණ මහලු සියල්ලෝම පන්ති භේදයකින් තොරව එකතු වෙනවා මේ නැටුම් වලට. මෙහිදී හැම දෙනාම කහවතුරෙන් නාවනවා. නමුත් දැන් විවිධාකාර පාට වර්ග මේවාට එකතු කරනවා. මෙහිදී සියල්ලෝ එකිනෙකා හඳුනා ගැනීම් කරනවා.

2) තෛපොංගල් (Theai Pongal)

මෙම උත්සවය සමරද්දී උදේ පාන්දරම නැගිටලා නාල බිම රටා දානවා. රටා දමන්නේ ඒ රටා මායිම් වලට හාල් පිටිත් ඇතුලතට පොල් කුඩු වලට පාට වර්ග මිශ්‍ර කරල දානවා. හාල් පිටි සුදු හා රතු හාල් යන වර්ග දෙකම ගන්නවා. රටා දැමීම සාමාන්‍යයෙන් පවුලේ ගැහැණු ලමුන් අතින් තමා සිද්ධවෙන්නේ. මේ රටා වලට තමා ‍"පොංගල්" කියල කියන්නේ.

මේ හාල් පිටි හා පොල් කුඩු යොදා ගන්නේ හාල් පිටි කූඹින් සඳහාත් පොල් කුඩු කුරුල්ලන් සඳහාත් ආහාර විදිහට. මේ සියල්ල සිද්ධ කරල අලුත් ඇඳුම් ඇඳගෙන හිරු නැඟීමත් එක්කම හිරු පූජාවක් කරනවා. ඊට පස්සේ කිරි උණු කරල ඒකට රතු හාල් මිශ්‍ර කරල කිරි බතක් හදනවා. ඒකට හකුරු පොඩි කෑලි කඩල දානවා. කලවම් කරන ගමන් ඒකට සීනි හා කජු දාලා රසකාරක එකතු කරනවා. මේ ආහාරය තමා උදේ ආහාරය විදිහට ගන්නේ. ඊට පස්සේ සියලු දෙනාම කෝවිල් ගිහින් පූජා පවත්වල ගෙදර එනවා.

දවල් කෑම සඳහා කුකුල් මස් ආදිය ගෙනවිත් සාදයක් දානවා. මත්පැන් ආදියද ගෙන එනවා. ආහාර අනුභවයෙන් පසුව සංගීත වාදනයන් හා නැටුම් ගැයුම් තියෙනවා.

උත්සවය පැවැත්වූ දවසට පසු දවසේදී ගව ගාල් වල දොරටු අසල දෙපස උක් ගස් වලින් සරසනවා. මේ කරන සැරසිලි වලට "කෝලම්" කියල තමා කියන්නේ. ඊට පස්සේ ගව ගාල් සුද්ධ කරල ගවයන් නාවල සුද්ධ කරනවා. ඊට පස්සේ ගවයන්ගේ අං සරසනවා ඇ‍ඟේ පාට සායම් වර්ග තවරනවා. පස්සේ කලින් දවසේ වාගේම "පොංගල්" දාල කිරි ආහාර හදනවා. ඒවා දෙවියන් සඳහා පූජා කරනවා. පහන් පත්තු කරනවා. පූජාව අවසානයේදී "පොංගල්" හා හදන ආහාර වලින් කොටසක් ගවයින්ට ආහාරයට දෙනවා. ඉතිරිය නිවැසියන් අනුභව කරනවා.

මේ උත්සවයේදී ඔවුන් බලාපොරොත්තු වන්නේ හිරු දෙවියන්ට ස්තූති කිරීමයි.

3) දීපවාලි (Deepavali)

මේ උත්සවයේදී උත්සවදිනයට සතියකට පෙර තමා සූදානම් වීම ආරම්භ වෙන්නේ. රසකැවිලි සාදනවා. ගෙවල් සුද්ධ පවිත්‍ර කරල පාට කරනවා. අලුත් ඇඳුම් ගන්නවා. උත්සව දවසේදී උදේම නැගිටල "මන්තනීර්" නමින් හැඳින්වෙන කෝවිලෙන් ගෙනෙන තෙල් වර්ගයක් හිසේ, උරහිසේ, පිට අත්ලේ, පපුවේ, දණහිසේ වාගේම කකුලේ පිට පැත්තේත් ආලේප කරනවා.

ඊට පස්සේ "සියකා" නමින් හැඳින්වෙන පවුඩර් වර්ගයක් හිසට දමනවා. පස්සේ සබන් ගාල නානවා. මේ පවුඩර් වර්ගය ඉන්දියාවෙන් තමා ගෙන්වන්නේ. ඊට පස්සේ හිරු වන්දනාව කරල හිස පිහදාල නිවෙස් තුලට යනවා. පසුව තමාගේ සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් ඇඳගෙන දෙවියන් ඉදිරියේ තමන් ගෙනා අලුත් ඇඳුම් තියනවා. ඊට පස්සේ කහ දියර හදල ඒවා ඇඳුම් වල තැනින් තැන තවරනවා. දෙවියන්ට පූජා පවත්වලා අලුත් ඇඳුම් ඇඳ ගන්නවා.  පස්සේ රතිඤ්ඤා, නිලා සහ අහස්කූරු පත්තු කරනවා. මේ සියල්ල උදය වරුව තුලදී තමා සිද්ධ වෙන්නේ.

දවල් කෑම කාල රසකැවිලි වර්ග වලත් රස බලනවා. ඊට පස්සේ යාබද නිවෙස් වලට රසකැවිලි පිඟන් දෙනවා. ඒ නිවැසියනුත් දෙමළ අය නම් ඒ අයත් රසකැවිලි පිඟන් හුවමාරු කරගන්නවා. ඊට පස්සේ දවසම විනෝදෙන් තමා.

දීපවාලි දිනය ඔවුන් සමරන්නේ, එකල රජකම් කල "සූරන්" නැමැති දුෂ්ඨ රජෙකුගේ මරණයේ සතුට සැමරීමටයි.

4) පුදුවර්සම් (Puduwarsam)

මේ පුදුවර්සම් නමින් කියන්නේ අපි සමරන්නා වූ සිංහල දෙමල අලුත් අවුරුද්දමයි. අප කරන්නාවු වත් පිලිවෙත්ම ඒ උදවියත් කරනවා.

1 comment:

  1. වැදගත් ලිපියක්.. දිගටම ලියන්න.. සුබ පැතුම්.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!