මගේ ගමන් බිමන් තුන්වන කොටස - ලෝකාන්තය බලන්න

මම මේ ගමන ගැන හුඟාක්ම කණගාටුවෙන් කියන්නේ, මේ තමා මම ගිය අසාර්ථකම trip එක. මේක පටන් ගන්න නම් තිබුනේ මම ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයෙන්. එතැනදී බස්රථයේ වුන පැය දෙකක් පමණ ප්‍රමාදය කණගාටුදායක විදිහට පළවෙනි දවසේ බලන්න තිබුනු දේවල් ගොඩක් නොබලන්න වෙන තරම් වෙන බව අපිට තේරුණා. ඒත් මම මේ ගමනට එකතුවුනේ වැල්ලවාය නගරයෙන්. ඒ මම මගේ යාළුවෙක් එක්ක එයාලගේ ගෙදර ගිය නිසා. ගමන වැටිල තිබුණේ  අම්පාර, සියඹලාණ්ඩුව. මොණරාගල හරහා වැල්ලවායට. එතැන මගේ යාළුවාගේ ගෙදරින් උදේ කෑම ගත් අපි කෙලන්ම ගියේ බණ්ඩාවෙළ තවත් අපේ කණ්ඩායමේ කෙනෙක් ගන්න කුඹල්වෙළට. එතැනින් තේ පානයක් සකස්කරල තිබුණා ඒ දෙමාපියන් ඒකත් භුක්ති වින්ද අපි ඊලඟට ගියේ දෝව පන්සලට ඒක තියෙන්නේ බදුල්ල බණ්ඩාරවෙළ මාර්ගයේ බණ්ඩාරවෙළ ඉඳල කිලෝමීටර 6ක් විතර දුරින් බදුල්ල පැත්තට වෙන්න.

දෝව පන්සල
මේ පන්සල අනුරාධපුරයේ සිටි වලගම්බා රජුගේ රක්‍ෂා ස්ථානය ලෙස කාලයක් භවිත කලා කියලයි සලකන්නේ. එහි ගලක කොටන ලද අඩි 38ක් පමණ උස බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. මේ ප්‍රතිමාව අපේ මූර්ති ශිල්පීන්ගේ දක්‍ෂතාව මැනෙවින් විදහා දක්වන්නක්. පන්සල ලෙනක් තුලයි තියෙන්නේ. ඒක ඇතුල ශිලා ලිපි හා බිතුසිතුවම් වලින් අලංකරණය කරල තියෙනවා. ඒ වාගේම ඇතුලත ලෙන තුල "නාග නිවාසයක්" ඇති බව සැලකෙනවා. මේකෙ සමහර චිත්‍ර සෙන්කඩගල යුගයේ අඳින ලද බවයි සලකන්නේ.





















 
එතැනින් අපි ගියේ බදුල්ලට. බදුල්ලෙන් අපි එක්ක තවත් දෙන්නෙක් එකතු වුනා. ඒ දෙන්නත් අරන් දවල් කෑම සඳහා තවත් නිවසකට ගිය අපි එතැනින් කෑම පාර්සල් කරගෙන ගියා දුන්හිඳ ඇල්ල බලන්න.

දුන්හිඳ ඇල්ල
ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ල විදිහට සැලකෙන්නේ මේ දිය ඇල්ල. මේ ඇල්ලේ උස මීටර 63ක්. ටිකක් දුෂ්කර මාර්ගයක වැටිල තිබුනත් මේක දකින කොට නම් ඒ වෙහෙස සෑහෙන දුරට නැතිවෙලා යනවා. ප්‍රධාන මාර්ගයේ ඉඳන් වංගු සහිත මාර්ගයක කිලෝමිටරයක් විතර යන්න ඕන. ඒ මාර්ගය නම් ගමන මඳක් අපහසුයි. පරිස්සමින් යන්න ඕන මොකද ඩිංගක්වත් එහෙ මෙහෙ වුනොත් ලිස්සන්නේ ප්‍රපාතයට.






















ඒකත් බලල එලියට එනකොට හවස 5.30 විතර ඇති. අපි ඊලඟට ගියේ මුතියංගනය රජමහා විහාරයට ඒ යනකොට නම් රෑ වෙලා.

මුතියංගනය රජමහා විහාරය
මුතියංගනය රජමහා විහාරය තියන්නෙක් ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කමක් තියෙන ස්ථානයක්. ඒකට හේතුව මීට වර්ශ 2590කට පමණ පෙර මහ රහතන් වහන්සේලා 500ක් පමණ සමඟ පැමිණ මේ ස්ථානයේදී නිරෝධ සමාප්තියට සමවැදී ඇතැයි සැලකීම. එම කාලයේදීම ඉන්දික දිව්‍ය පුත්‍රයා සර්වඥ මුන්තක ධාතු නිදන් කර ප්‍රථම චෛත්‍යය නිර්මාණය කර ඇතැයි සැලකෙනවා. ඒ වාගේම ලංකාවේ ප්‍රථම බෞද්ධ මහරජාණන් වන දේවානම් පියතිස්ස රජු විසින් සර්වඥ ධාතු නිදන් කර එම ස්ථානයේම වඩා විශාල කොට මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර ඇතිබවත් කියවෙනවා.













එතැනින් රාත්‍රි නවාතැන් ගන්න නියමිත ඇට්ටම්පිටිය අපේ ජේෂ්ඨයකුගේ ගෙදරට යනකොට රෑ 9.00ට විතර ඇති. ඊලඟ දවසේ උදේ 8.00ට විතර පිටත්වුන අපි කෙලින්ම ගියේ හෝර්ටන් තැන්නට. එතැන වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකාන්තය (world's end) නිසා. ඒත් මේ තැනිතලාව තුල අපිට දැනගන්න අපිටම අයිති ගොඩාක් දේ තියෙන බව නම් මේ අඩවියට එන කිසිවෙක් නොදන්නා බව නම් කණගාටුවට කරුණක්.

හෝර්ටන් තැන්න













ලංකාවේ තියෙන විශාලතම තැනිතලාව වෙන මේක බලන්න නුවරඑළියේ ඉඳන් ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල, අඹේවෙළ හරහා හරි එහෙමත් නැත්තම් බොරලන්ද ඔහිය හරහා හරි යන්න පුළුවන්. මේ අඩෙවියේ දිවියන්, වලස් වඳුරන්, ගෝණුන් වගේම තවත් විශාල වශයෙන් සතුන් දකින්න පුළුවන් වාගේම ඒකදේශික ශාක හා ආවේණික විශේෂ විශාල ගණනක් මේ ප්‍රදේශයේදී දැකගන්න පුළුවන්. ඒ අතරින් මාරත්මල්, හීන් බෝවිටියා යන ශාක ප්‍රමුඛස්ථානය ගන්නවා. ගමන වැටිල තියෙන පාර දිගේ කිලෝමීටරයක් විතර ගියාම පාර දෙකට බෙදෙනවා. ඒ එක් පාරකින් ගියාම එන්නේ අනිත් පාරෙන් ඒ විදිහට තමා ගමන සකස් වෙලා තියෙන්නේ. අපි ගමන් කරේ සාමාන්‍යයෙන් සාර්ථක ගමනක් වෙන වම් පැත්තට තියෙන ගමන් මාර්ගයෙන්. එතැනදී අපි මුලින්ම දකින්නේ අඩි 1000ක් පමණ හෙලකින් යුතු කුඩාලෝකාන්තය. ඊට පස්සේ  මීටර 22ක් පමණ උස බේකර්ස් දිය ඇල්ල. මේ ඇල්ල 1847 සිට 1855 දක්වා ලංකාවේ සිටි සර් සැමුවෙල් බේකර්ස් විසින් ලංකාවේ හොඳම දඩබිම් සොයා කර ඇති ගවේශණයේදී සොයාගත් නිසා ඔහුට ගෞරවයක් විදිහට එනමින් නම් කරල තියෙනවා. දිය ඇල්ලට ගමන් කරන්න තියෙන සාමාන්‍ය මාර්ගය නම් ගොඩක්ම දුෂ්කරයි ඒ නිසා විකල්ප මාර්ගයක් ඡායාරූප ගැනීමට වේදිකාවක් එක්ක වෙනම සකස් කරල තියෙනවා. ආරම්භයේ ඉඳල මේ ඇල්ල ගාවට කිලෝමීටර 3ක් විතර තියෙනවා. එතැනින් පිටවුන අපි යන්නේ අඩි 4000ක් විතර වෙන විශාල ලෝකාන්තය හෙවත් නියම ලෝකාන්තය දකින්න. මේ තැනට ලෝකාන්තය කියල නම වැටිල තියෙන්නේ මේ වතුයාය අයිති වෙලා තිබුණු සුද්දා දවසක් දඩයමේ යද්දී මීදුමෙන් වැසුණු මේ ප්‍රදේශයේදී අශ්වයා එක්වරම නැවතුනාලු. ටිකක් විමසිලිමත්ව බැලුවාම දැක්කලු මෙතන අගාධයක් ඇතිබව. එතැනින් මීදුම ඉවත්වෙද්දී මෙතැන පතුලක් නොපෙනෙන නිසා මෙතැනින් ලෝකය අවසානයි (world is end) කිව්වාලු. දැන්නම් මේ අගාධ දෙකම අසල නැරඹුම් වේදිකා සකස් කරලයි තියෙන්නේ ඒ මේ තැන් ජීවිත ගණනාවක් අහිමි කල තැන් නිසා. ඒකට ගොඩක්ම හේතු වෙන්නේ මේ තැන "සුලං කපොල්ල"ක් වීම. ඒ දේ වෙන්නේ කන්ද මුදුනේ පීඩනයට වඩා අගාධය තුල ඇති වාතයේ පීඩනය අඩු නිසා එතැන ඇතිවන පීඩන අන්තරය. මේ පීඩන අන්තරයේදී අත් දෙපසට විසිකරමින් හෝ අනවශ්‍ය විදිහට විනෝද වෙන්න ගියොත් නම් පීඩන අන්තරයට ලක්වෙන ඒ පුද්ගලයාට නම් දෙයියන්ගේම පිහිට තමා. ඒකට එබී බලද්දී අපිට පහල ඇති තේ වතු හා ගිණිපෙට්ටි ප්‍රමාණයට පේන එහි කර්මාන්තශාලා දකින්න පුළුවන් වාගේම ඈතින් සමනළ වැව ජලාශයත් දකින්න පුළුවන්. ඒ වාගේම හුඟක්ම අහස පැහැදිලි නම් මුහුද දකින්නත් පුළුවන් යැයි කියනවා. මේ ගමන අවසන් වෙන්නේ කිලෝමීටර 9ක් විතර රවුමක් තැනිතලාව අතරින් ගියාම. ඒ වාගේම තැන්නේ තවත් පැත්තක් ලංකාවේ විශාලත්වය අතින් දෙවැනි තැන හිමිවෙන කිරිගල්පොත්ත කඳවැටිය දෙසට විහිදෙනවා. ඒත් ඒ ගමන කිලෝමීටර 12ක් විතර වෙන නිසාවෙන් හා තැන්න වඩා ප්‍රසිද්ධ වෙන්නේ ලෝකාන්තය නිසාවෙනුත් හුඟක් අඩු පිරිසක් තමා ඒ පැත්ත නරඹන්න යන්නේ.








































 












 
අපේ කස්ටිය හෝර්ටන් තැන්න බලල එලියට එනකොට වෙලාව 4.30ට විතර ඇති ඒ නිසා බලන්න හිටි නවසීලන්ත ගොවිපල බලන්න යන එක නවත්තන්න වුනා. එතැනින් නුවරඑළිය හරහා අපි ගියේ අපේ නවාතැන වන තවලන්තැන්න ප්‍රදේශයේ පූඩළුඔය තියෙන අපේ ජේෂ්ඨයකුගේ නිවසකට. එහි රාත්‍රිය ගෙවා දැමූ අපි උදේ 9.00ට පමණ බසයට ගොඩවුනේ ඉහල කොත්මලේ ව්‍යාපෘතිය නරඹන අදහසින්. ඒ අතර ගමන් මාර්ගයේ තිබුණු ඩාන්සින් ඇල්ල බලන්නත් අමතක කලේ නැහැ.









ඉහල කොත්මලේ ව්‍යාපෘතිය
මේ ව්‍යාපෘතිය විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘතියක් විදිහට ආරම්භක සැලසුම් යොදල තියෙන්නේ 1968 පමණ ඒත් ඒක ක්‍රියාත්මක වුනේ මෑතකදී කියල කවුරුත් දන්නවා. ඒකට හේතුව වුනේ ඒ ව්‍යාපෘතිය නිසා ලංකාවේ දිය ඇලි 5ක් අපට නැතිවී යනවා. ඒ එක්කම ඒවා බලන්න එන සංචාරකයන් නැතිවීමෙන් විදේශ විනිමය අඩුවීමත් සිදුවෙනවා. නමුත් දැන් ව්‍යාපෘතිය වෙනස්කරල එක් දියඇල්ලක් විතරක් ව්‍යාපෘතියට හසුවෙන තරමට ඒක සංස්කරණය කරලයි ක්‍රියාත්මක කරන්නේ. ඒ තමයි සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල. නමුත් ඒකත් දහවල් කාලයේ ඒ කියන්නේ උදේ 6 ඉඳල හවස 6 වෙනකම් පැය භාගයකට වරක් පෝෂණය කරමිනුයි මේ ව්‍යාපෘතිය සිද්ධ වන්නේ. රුපියල් මිලියන 37,269 ක් වැය කරන මේ ව්‍යාපෘතිය මෙගාවොට් 150ක ධාරිතාවයෙන් යුතු වන අතර වාර්ශික බල උත්පාදනය 409GWhපමණ වෙනවා. මුලින් ඩෙවෝන් ඇල්ල, පූණාඔය ඇල්ල, සෙන්ට් ක්ලෙයාර් ඇල්ල, සෙන්ට් ඇන්ඩූස් ඇල්ල හා රම්බොඩ ඇල්ල බලපෑමට ලක්වීමට තිබුණත් දැන් බලපෑම ඇත්තේ සෙන්ට් ක්ලෙයාර් ඇල්ලට පමණයි. මුලින්ම වේල්ල ඉදිකිරීම සඳහා ජල පහර හැරවීම සඳහා හැරවුම් උමඟක් සකස් කරල තියෙනවා. එතැනින් ජලපාර හරවල වේල ඉදිකරන්න පටන් අරන් දැන්නම් වේල්ල සෑහෙන දුරට වැඩ අවසන් කරලයි තියෙන්නේ. මේ වේල්ල වාන් දොරටු පහකින් මීටර 157ක් දිග, මීටර 7ක් පළල හා මීටර 35.5ක් උසකින් තමා නිර්මාණය වෙන්නේ. ඒ වාගේම දිය ඇල්ල පෝෂණය සඳහා වාන් දොරටු විවෘත කිරීම වෙනුවට වෙනම නලයක් යොදාගෙන තියෙනවා. තලවකැලේ ඉදිකල මේ වේල්ල නිසා ඇතිවන ජලාශය නිසා යටවන ප්‍රදේශවාසීන් වෙනුවෙන් වෙනම නිවාස හා දෙමල මහා විද්‍යාලය වෙනමම ඉදිකිරීමත් සිදුවෙලා. ඒ වාගේම සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල බලන්න එන්නන් වෙනුවෙන් වෙනම නවාතැනක් හා විවේකාගාරයක් වෙනම ඉදිකරල තියෙනවා. විදුලි බලාගාරය භූගත බලාගාරයක් විදිහට ඉදිවෙන්නේ නියම්ගම්දොර ප්‍රදේශයේ. ඒ සඳහා විශ්කම්භය මීටර 5.8කින් හා කිලෝමීටර 13කින් යුත් උමං මාර්ගයක් යොදාගෙන තියෙනවා. විදුලිය ජනනය කිරීම සඳහා මීටර 461ක උසවෙනසක් යොදා ගන්නයි සැලසුම් තියෙන්නේ. මේ සියළු උමං මාර්ග තියෙන්නේ අසල පිහිටි කඳුවැටිය ඇතුලේ. බලාගාරයේ විදුලිය ජනනය සඳහා ටර්බයින දෙකක් යොදාගන්නවා. ඒ දෙකෙන් එකක සවිකිරීම් අවසන් අනෙකත් සෑහෙන දුරකට අවසන්.මෙතැනින් ජනනය වන විදුලිය පහල කොත්මලේ බලාගාරයට තමා දෙන්නේ.




























මෙතැනින් පස්සේ ලමන් මර්ගය තිබුණේ පේරාදෙණිය උද්භිද උද්‍යානය නරඹන්න. පේරාදෙණිය උද්‍යානයට ඇතුල් වුණු අපි ආහාර අනුභවයෙන් පස්සේ හවස 5.00ට ප්‍රධාන දොරටුවේදී හමුවීමට තීරණය කරගෙන වෙන්වුනා. එතැනදී දුටු කණගාටු දායක කරුණක් තමා අපේ මිනිසුන් කරන දේ නිසා උද්‍යානය තුල තැන තැන කුණු කසල එක්වෙලා. ඒ වාගේම එදේ සිද්දවෙන්නේ අපේ නොසැලකිල්ල නිසා කියලයි මම හිතන්නේ. උද්‍යානය තුල ඇවිදින්න නම් සම්පූර්ණ දවසක්වත් ඕන සියල්ල විස්තර එක්ක බලනවානම්. ඒත් මම ලියන්නම් මම දැක්ක විශේෂ තැන් විතරක් දේ. මුලින්ම දැක්කේ දෙබඩි පොල් ශාකය ඒ තමා ලෝකෙ විශාලම බීජය සහිත ශාකය. ගෙඩියක් කිලෝ ග්රෑම් 10ත් 30ත් අතර වෙනවා. මේරීමට අවුරුදු 5-6ක් පමණත් පැලවීමට වර්ශයක් පමණත් ගතවෙනවා. දැනට මේ ශාකය වඳවීයාමේ තර්ජනයට ලක්වී තියෙනවා. එතැනින් මහා තල් මාවතේ ගමන් කල අපි අතරවාරයේ දුටු අලංකාර මල්වල සුන්දරත්වය විඳගත්තා. දැක්ක තවත් විශේෂ ශාකයක් විදිහට යෝධ උණ ශාකය හඳුන්වන්න පුළුවන් මේ ශාකය තමා අපිට තිබෙන වර්ධනය වැඩිම ශාකය. දිනකට අඩි භාගයක් වර්ධනය වන බවයි කියන්නේ.


විනාසයි නේද?




දෙඩි පොල්










තල් මාවත




සල් ගෙඩි
මඩු












අවසාන ස්ථානය විදිහට දළදාමාලිගාව වැඳ පුදාගත් අපි මහියංගනය හරහා නැවත අම්පාරට එන්න පිටත් වුණා. දළදා මාලිගාව අසලින් එනකොට රාත්‍රී 8.00ට විතර ඇති. එන අතරේ රාත්‍රි ආහාර ගත් අපි පදියතලාවට එන විට පාන්දර 1.30ට පමණ ඇති එකැනදී අපේ කණ්ඩායමේ සහෝදරයෙක් අපෙන් වෙන්වෙන ගමන් අපට තේ පැන් සංග්‍රහයක් සූදානම් කරල තිබුණත් අනිත් අය ඒ තේ පැන් සංග්‍රහය විඳිද්දී මට ඒ වාසනාව නැතිවුනේ එක දිගට නොනිදා පැමිණ තිබූ මහන්සියට නින්ද ගිය නිසා. එතැනින් පිටවෙලා පාන්දර 2.00ට පමණ පිටත්වෙලා එන අතර වාරයේ මහඔය ප්‍රදේශයේදී බස්රථයේ ටයරයක් පුපුරාගියේ ඉක්මනින් ගමන් අවසන් කිරීමට තිබූ බලාපොරොත්තු සුනු විසුනු කරවමින්. එතැන් සිට පැය දෙකක කාලයක් පුරා නිවැරදි ලෙස ටයර මාරු කරලත් අපි ආපහු නේවාසිකාගාර වලට එනකොට පාන්දර 6.30 විතර වෙලා. පුපුරලා තිබුනේ ඉදිරිපස අළුත් ටයරයක් නිසාවෙන් හා ඒ වෙන කොටත් එක්වරක් ටයර මාරුකර තිබූ නිසාවෙනුත් බස්රථයේ ටයර සියල්ල ගලවලා නිසි ලෙස සකස් කරගන්න වුන නිසා තමා පැය දෙකක් විතර ගියේ ටයර් මාරු කරන්න. ඒකත් මාර ජොලි හා අන්තරාදායක වැඩක් මට නම් ඒත් ඉතින් මට වාසනාව පෑදුනා ටයර් මාරු කරන අත්දැකීම ගන්න. දාඩිය පෙරාගෙන ටයර් මාරු කරල ඉවර වෙනකොට නම් හොඳටම හන්තර්.

ගමන් බිමන් වල දෙවන කොටසට....

6 comments:

  1. ඔබගේ ගමන් විස්තරයට අනුව හෝර්ටන් තැන්නේ ලේකාන්තයේදී ඈතින් කොත්මලේ ජලාශය දිස්වන බව ප්‍රකාශ කර තිබුනද ලෝකාන්තයට දිස්වන්නේ බලංගොඩ ප්‍රදේශයේ ඇති සමනළවැව ජලාශය බව කරුණාවෙන් මතක් කල යුතු වේ. ඔබගේ චාරිකා සටහන සවිස්තරාත්මකව කාටත් අවබෝධ කරගත හැකි අන්දමින් ඉදිරිපත් කර තිබීම විශිෂ්ටයි. ඔබට සුභ පැතුම්...

    ReplyDelete
  2. ආහ් මට වැරදීමක් සමාවෙන්න. ඇත්තෙන්ම ඒක බලංගොඩ තමා.

    ReplyDelete
  3. තව තවත් ගමන් බිමන් යෑමටම හැකි වේවා!

    ReplyDelete
  4. ඔන්න ෆලෝ පාරකුත් දැම්ම එහෙනම්. රට වටේ යන උන්ට මැක්සා සයිට් එකක්. පොටෝ වැඩි නිසා ලෝඩ් වෙන්න වෙලා යන එක තමා අවුල. තව තවත් ඇවිදින්නම ලැබේවා

    ReplyDelete
  5. ෙම්ක අදහසක් විතරයි.... පොටො වැඩි අනාට කමක් නෑ. size ඒක කුඩා කරලා වෙන තැනකට link ඒකක් ෙදන්න. මාර්ග සිතියම්, අතරමගදි දැක්ක කට්ටියගෙPics දැම්මට කමක් නෑ. ටිකක් ෙවනස් pics ගන්න. දිය අැල්ලක ෙප්න විදියට වඩා ෙවනස් විදියක ඒකක් ගන්න උත්සාහ කරන්න. මම දන්ෙන් නෑ ඒ් ෙකාෙහාමද කියලා. ඒ්ක ඔයාට බාරයි. Safty 1st මතක තියං ඔන ෙදයක්... ඔයාට සුභ පතනවා....

    ReplyDelete
  6. @Mr.Mc:- බොහෝම ස්තූතියි අදහසට මම ඉදිරියේ එහෙම කරන්න හිතාන ඉන්නේ. මොකද මගේ බ්ලොග load වෙන්න යන වෙලාව වැඩී කියට මටත් තේරුණා. but මේ දවස්වල Studies නිසා මොකුත් කරන්න බෑ. හදිසියේ දාන ලිපියක් තමා.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!