මගේ ගමන් බිමන් දහනමවෙනි කොටස - පොලොන්නරුව නටඹුන්

පරාක්‍රම සමුද්‍රය අවටින් හමුවූ මෙම පුරාතන ස්ථාන පැරණි නගර සුලසුමක නටඹුන් බව පැහැදිලිය. නමුදු තවමත් මෙහි ඇති සමහර නිර්මාණයන්ගේ නිර්මාතෘ හෝ එකල භාවිත වූ නම් අවනිශ්චිත ස්වභාවයක් උසුලයි.

මෙය එකල රජවරුන් විසින් දළදා වහන්සේ වැඩහිඳුවීම පිණිස කරවූ මාලිගාවයි. ප්‍රදේශයේ උස් භූමියක් සකසා එහි ඉදිකර ඇති නිසාවෙන් මෙයට දළදා මළුව යැයි කියනු ලැබේ. ලංකාවේ විශාලතම සෙල්ලිපිය වන නිශ්ශංකමල්ල සෙල්ලිපියත් මහා විජයබාහු රජු ඉදිකල අටදාගෙය මාලිගයත් මහා පරාක්‍රමබාහු රජ ඉදිකල වටදාගෙය මාලිගයත් නිශ්ශංකමල්ල රජු ඉදිකල හැටදාගෙය මාලිගයත් දළදා වහන්සේ සඳහා ඉදිකල මාලිගා බැව් සිතිය හැක. එමෙන්ම මෙහි විරල ගණයේ ස්තූපයක් වන සත්මහල් ප්‍රාසාදය, පැරණිම පිළිමගෙය වූ ථූපාරාමය අලංකාර නෙළුම් මල් ඵලක වලින් යුතු ගල්ටැම් සහිත නිශ්ශංකලතා මණ්ඩපයත් ඇතුළු ගොඩනැගිලි කීපයක්ම දකින්න පුළුවන්.

මෙය පැරණි නගරයට නැගෙනහිර දොරටුවෙන් වැටී තිබුණු වීදිය අසල ඇති අතර මහා පරාක්‍රම රජුගේ රූපවතී නම් බිසව විසින් කරවූ බැව් විස්වාස කෙරේ. නමුත් මෙහි සත්‍ය නම හෝ කරවූ අය අවිනිශ්චිතය. මෙය අවටින් විශාල වශයෙන් පබළු හමුවූ නිසාවෙන් ජනප්‍රවාදයේ පබළු වෙහෙර ලෙස හැඳින්වූවා විය හැකිය. එමෙන්ම මෙහි දකුණු දෙසින් පේසාවට නැඟීමට පඩි තුනක් සකසා තිබීමද විශේෂත්වයකි.

මේවා මහා පරාක්‍රමබාහු රජුට සිටියා කියන හින්දු බිසොවක් සහා කරවූ  බව කියැවේ. ඇයට පූජා පැවැත්වීම සහා ප්‍රදේශයේ විවිධ ස්ථාන වල මෙවැනි දේවාල කීපයක් ඉදිකර ඇති බැව් දැකිය හැක.

මෙහි ඉතිහාසය අවිනිශ්චිත වුවද ක්‍රිස්තු වර්ශ 8-9 සියවස් දක්වා විහිදුනු අතීතයකට හිමිකම් කියයි. මාලක තුනකින් සමන්විත වන අතර ස්තූපයක්, බෝධිඝරයක්, ප්‍රතිමා ගෘහයක් පන්සලක්, දානශාලාවක් හා කුටි රැසක් හුනාගෙන ඇත. උස් වේදිකාවක් මත ඉදිකල ස්තූපය විරල ගණයේ එකකි. වේදිකාව පාදමේ සිංහ රූ සහිත ඵලකයක් හා ස්තූප මළුවට ඇතුළු විය හැකි ශෛලමය උළුවස්ස විශේෂ තැනක් ගනී.

නිශ්ශංක මල්ල රජ දවස කල නිර්මාණයක් බව පැවසේ. මෙහි විශාලත්වය නිසාවෙන් පොලොන්නරුවේ රුවන්වැලිසෑය ලෙස හඳුන්වා ඇති අතර ඒ ලෙසම වන්දනාමාන කරයි.

පොලොන්නරුවේ ඇති විශාලතම ආරාම සංකීර්ණය ලෙස මෙය හෙක්ටයාර 35ක භූමිභාගයක් පුරා විහිද තිබේ. මහා පරාක්‍රමබාහු රජ විසින් ඉදිකල මෙහි සමහර ස්තූප සංඝනායකයින් ආදාහනය කල ස්ථාන බැව් සිතිය හැක. මෙය තුල බද්ධසීමා ප්‍රාසාදය, භික්‍ෂු රෝහල, නේවාසික භික්‍ෂු කුටි, කිරිවෙහෙර, ලංකාතිලක පිළිමගෙය හා ස්ථූප ගොඩනැගිලි දැකිය හැක.සමහර තුනෙක එකල භාවිත කල ශෛලමය වැසිකිලි වල නටඹුන්ද දැකිය හැක.

මහා පරාක්‍රමබාහු රජ විසින් ඉදිකල මෙය ලංකාවේ ඇති විශාලතම පිළිම ගෙය ලෙස සැලකේ. මෙය ගෙඩිගේ වර්ගයට අයත් පිළිම ගෙයකි. දකුණු ඉන්දීය ආභාශය පෙන්නුම් කරන මූර්ති හා බිත්ති වල සිතුවම් තිබූ බවට නටඹුන් දැකිය හැක. තවද දඹදෙණි යුගයේදී මෙය ප්‍රතිසංස්කරණය කල බවට සාධක හමුව තිබේ.

මෙය පරාක්‍රම රජ විසින් කරවූ බව කියැවේ. එමෙන්ම ජේතවනාරාම භූමියට අයත්වේ. මෙම ප්‍රදේශය පුරාවට මෙවැනි පොකුණු අටක් තිබුණා යැයි මහාවංශයේ කියැවේ. මෙහි හැඩය නිසාවෙන් එම නම ලැබී ඇති බැව් පැහැදිලිය. එය නිර්මාණය සඳහා ඉතා සුමට ලෙස කැපූ කළු ගල් යොදාගෙන ඇති අතර මනාව අපගේ හෙළ ගල්වඩුවාගේ දක්‍ෂතාව පිළිබිඹු කරයි.

මෙය එනමින් හැඳින්වුවද එහි නිර්මාතෘ හෝ පැණි නම තවමත් නොදනී. නමුත් පැණි දේවාල සංකීර්ණයක් බැව් නම් පැහැදිලිය. එමෙන්ම පොලොන්නරුවෙන් හමුවූ හින්දු ලෝකඩ ප්‍රතිමා හමුව ඇත්තේ මෙම භූමියෙනි.

මෙය පිහිටි ගලෙහි නෙලූ ශෛලමය පිළිම වේ. හිඳිපිළිමය, හිටි පිළිමය හා සැතපෙන පිළිමය යන පිළිම තුනකින් සමන්විත මෙම විහාර ප්‍රදේශය ආශ්චර්යයන් පිරි ස්ථානයක් ලෙසද සැලකේ. රාත්‍රී කාලයේදී පිළිම ජීවමාන ස්වරූපයෙන් දිස්වෙන බවද කියවේ. තවද මෙහි ඇති හාස්කම් බලන්නට වරක් විදෙස් ජාතිකයෙන් සැතපෙන පිළිමයට වෙඩි තබා ඇත. නමුත් එවෙලේ පැමිණි හස්තියෙකු එම විදේශිකයා සාහසික ලෙස මරා දමා ඇත්තේ පිළිමයන් ඉදිරියේ ඇති ගල්තලාවේමය. එමෙන්ම මෙයද ඉති සුවිශේෂ ශෛලමය නිර්මාණයක් ලෙසින් සැලකේ.

මෙය තිවංක පිළිමගෙය ලෙස හැඳින්වෙන්නේ මෙහි ඇති බුදුන්ගේ පිළිමය තුන් ස්ථානයකින් නැමුණු ආකාරයට තනා ඇති බැවිනි. එයට හේතුව ලෙස සඳහන් වෙන්නේ බුදුන්වහන්සේ රන් ඉනිමං සයක් ආධාරයෙන් දෙව්ලෙව වැඩ දෙවියන්ට දහම් දෙසා ආපු පැමිණෙන අවස්ථාවේ සිටි ඉරියව්ව පිළිමයට නඟා තිබීම යැයි කියවේ. තවද මෙම පිලිමය සඳහා තුන් විදිහකින් නමස්කාර කිරීමට සලස්වා ඇත. එනම් පාද, ශීර්ෂ හා මුළු ශරීරයම දෙසයි. ශීර්ෂ වන්දනාව සඳහා විශේෂ පඩිපෙළක් ඉතා කුඩාව සකසා ඇත. එයට හේතුව බුදුන්ට පිටුපා පඩි නැබීමට අපහසු වීමටයි. තවද මෙහි බිත්ති වල විශාල වශයෙන් දෙව්වරුන්ගේ චිත්‍ර දකින්න පුළුවන් වන අතර මෙහි ඇති එක් චිතුයක් පසුගිය කාලයේ ඉතා කතා බහට ලක්වුණි. ඒ සතර මහා දෙව්වරුන් සමඟ ඇති හඳුනා නොගත් රූපයක් නිසාවෙනි. මෙය පිටසක්වල ජීවියෙකුගේ රූපයක් යැයි ද මතයක් තිබේ. තවද මෙහි මා සිටි කාලය තුල දුටු විශේෂත්වයක් නම් එම කාලය තුල එකම ස්ථානයේ සිට වහලේ ගත් ඡායාරූප වල විවිධ වර්ණ සංකලන තීබීමයි.

පොත්ගුල් විහාරය ලෙසින් මෙය හැඳින්වුවද මෙහි නම හා නිර්මාතෘ අවිනිශ්චිතය. පරාක්‍රමබාහු රජුගේ චන්ද්‍රවතී නම් බිසව විසින් මෙය ප්‍රතිසංස්කරණය කර ඇති බවට ශිලා ලිපි සාක්‍ෂ දරයි. මෙහි ඇති චතුරස්‍රාකාර මළුව තුල ඇති වෘත්තාකාර ගඩොලින් කල ගොඩනැගිල්ල කැපී පෙනෙන විශේෂත්වයක් ඇති අතර මෙහි පියස්සද ගඩොලින් කරවා ඇත. තවද එම භූමියේසම ඇති ප්‍රතිමාව දැඩි මතභේදයකට තුඩු දුන් ප්‍රතිමාවකි. එහි ඇති දේහ ලක්‍ෂණ හා අතෙහි උසුලා ඇති දෙය පුස්කොලයක් යැයි කියමින් මෙය පුලතිසි සෘෂිගේ ප්‍රතිමාව බවත් අතෙහි ඇත්තේ වියපතක් යැයිද මෙම ප්‍රදේශයේ රජ පරාක්‍රමබාහු බැවින්ද මෙ ඔහුගේ ප්‍රතිමාවක් යැයිද මත යන් පවතී. කෙසේ වෙතත් මෙයද ඉතා විශේෂිත ශෛලමය ප්‍රතිමාවක් ලෙස හැඳින්විය හැක.

තවද මෙම ප්‍රදේශයේ විශ්ණු දේවාලයක් හා ගණපති දේවාලයක් මහා වීදියේ උතුරු දොරටුව අසල දැකිය හැකිය. රජ මාලිගය නටඹුන් අතර කුමාර පොකුණ දකින්නට ඇත. තවද දෙමළ මහා සෑය හා දීප උයනද නටඹුන් අතර දැකිය හැකිය. පරාක්‍රම සමුද්‍රය මැද ඇති සීත මාලිගයද විශේශ තැනක් ගනී. මෙය සඳහා යාම සඳහා පහුරක් භාවිතා කර ඇති බව සිතිය හැත. 


ගමන් බිමන් වල දහඅට වන කොටසට....

2 comments:

  1. හොඳ විස්තරයක්! ඔබට ජය!

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!