මගේ ගමන් බිමන් විසි තුන්වන කොටස - හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව

හිඟුරාන කියන්නේ අම්පාර සියඹලාණ්ඩුව පාරේ අම්පාරේ ඉඳන් කිලෝමීටර 12ක් විතර දුරින් තිබෙන ප්‍රදේශයක්. හිඟුරාණ වටරවුමෙන් හැරිල මීටර 350ක් විතර ගියාම අපිට දක්නින පුළුවන් හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව. මේ කර්මාන්තශාලාව කාලයක් වහල දාලයි තිබුනේ. නමුත් දැන් ආයෙත් මේ යන්ත්‍ර වැඩ කරන්න අරගෙන. ගල්ඔය වගාව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කර්මාන්ත ශාලාව පුද්ගලික කර්මාන්ත ශාලාවක් විදිහට නැවත වැඩ ආරම්භ වෙලා තියෙන්නේ. මගේ යාළුවෙක්ගේ තාත්තා මේකේ වැඩ කරන නිසාවෙන් මට පොඩි අවස්ථාවක් හමුබවුනා මේක බලන්න. ඒත් මම යන මේ දවස්වල මේකේ යන්ත්‍ර නම් වැඩ නැහැ. කොහොම වුනත් කෙරෙන ක්‍රියාවලිය නම් අහගන්න ලැබුණා. මේ තියෙන්නේ ඒ ගැන විස්තර මට තේරුණ, මතකයේ රැඳුණු විදිහට. පින්තූර වෙන තැනක දාල අමුණන්නේ මේක පූරණය වෙන්න යන වෙලාව වැඩි හින්දා. මලා :o කිව් එක තේරුණේ නැහැ නේද? පින්තූර වෙන තැනක දාල ලින්ක් කොරන්නේ ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි හින්දා. හහ් දැන් තෙරුණා නේද? ;)
මුලින්ම මෙන්න මේ තියෙන්නේ ටොන් 10ක් විතර උස්සන්න පුළුවන් ක්‍රේන් එකක්. ඒකෙන් තමා උක් ගස් ටික උස්සල මේ තියෙන තට්ටුව උඩඩ දාන්නේ. මේකෙ තියෙන දම්වැල් වලින් ඇතගෙන ඇවිත් ඒ ටික පිළිවෙලකට මේ පේන කාණුව වගේ තැනට දානවා. සාමාන්‍යයෙන් එක වාරෙකට එක ක්‍රේන් එකකින් දාන ප්‍රමාණය ටොන් 3ක් විතර. ඒ වගේ ක්‍රේන් දෙකක් තියෙනවා. මේ කාණුව වගේ පේන තැන තියෙන දැති සහිත වීල් එකෙන් ඒ ටික පිළිවෙලන් වෙනවා වාගේම තරමක් දුරට කෑලි වලට කැපෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ වීල් එකෙන් ඒක අඟලක් වගේ විතර කෑලි වලට කැපීම සිද්ධ වෙනවා. එතැන සියල්ල සිදුවන්නේ ගමන් කරන තට්ටුවක් මතින් යන අතරතුරයි. එතැනින් පස්සේ ඒ ටික කර්මාන්ත ශාලාව ඇතුලට යනවා.

කර්මාන්ත ශාලව තුල මුලින්ම යන්නේ උක් දඬු වලින් පැණි වෙන්කර ගන්න කොටසට. මෙතැනදි කරන්නේ කෑලිවලට කපාගන්තු උක්දඬු ඉතා කුඩා වෙන්න අඹරාගන්න එක ඒකට මේ පේන ඇඹරුම් කොටස වගේ කොටස් පහක් උපයෝගී කරගන්නවා. එක් කොටසක් උප ඒකක තුනකින් සමන්විත වෙනවා. මේ පේන දැති අතරින් යන උක් දඬු කුඩා වෙන්න ඇඹරිලා යනවා. උප ඒකක ඉදිරියට යද්දී දැති අතර පරතරය කුඩා වෙන ආකාරයට තමා මේක සකස් වෙලා තියෙන්නේ. ඇඹරිලා එන පැණි පතුලේ ඇති ටැංකි තුල එක්රැස් වෙනවා. මේ සියළු ඒකක වැඩ කරන්නේ ජල වාශ්පයෙන් වීම තමා මෙතැන විශේෂත්වය. අවසානයේ උක් රොඩ්ඩ හෙවත් අවසානයේ පැණි රහිත කොටස මේ පේන තටුටුව දිගේ එලියට යනවා. ඒවා වේලල දහන ඉන්ධන විදිහටත් පාවිච්චි කරනවා. මේ පේන එක තමා මේ කර්මාන්ත ශාලාව පුරාවටම බලය දෙන වාශ්ප නිපදවන් පාවිච්චි කරන බොයිලේරුව. මුලින්ම දර පාවිච්චි කරල අවුළුවාගෙන ඊට පස්සේ උක් රොඩ්ඩ භාවිත කරනවා. කලෙකට ඉහතදී නම් මේ වෙනුවට තෙල් ඉන්ධන භාවිතා කරල තියෙනවා. අවසානයේ නිපදවන තාලයෙන් මේ පේන වාශ්ප පීඩකය තුල වර්ග අඟලට රාත්තල් 250ක විතර පීඩනයක් සකස් කරල නල පද්ධතියක් මගින් කර්මාන්ත ශාලාව පුරාවටම බෙදා හරිනවා. වතුර ප්‍රමාණය බලන්න දර්ශකයකුත් මෙහිම තියෙනවා. මේ තියෙන්නේ දහනය වුන අඟුරු ඉවත් කරන තැන. මෙතැනින් තමා දුම් පිටවෙන්නේ.

ඊට පස්සේ අපි ගියා බලන්න මේකේ තියෙන විදුලි බලාගාරය. ඒකත් වැඩ කරන්නේ වාශ්පයෙන්ම වැඩ කරන ටර්බයිනයක් ආධාරයෙන්. මේ ටර්බයිනය මිනිත්තුවට වට 6000ක් විතර කැරකෙනවා. එතැනින් නිපදවන වොල්ට් 440ක විදුලියෙන් තමා සම්පූර්ණ කර්මාන්තශාලාවට විදුලිය දෙන්නේ. නමුත් සමහර වේලාවන් වලදී ඒක මදිවුනොත් විදුලි බල මණ්ඩලයෙන් බෙදා හරින විදුලියත් ගන්නවා. දැන් නම් මේ ශක්ති බලාගාරයෙන් ලංකා විදුලි බල මණ්ඩලයටත් විදුලිය දෙනවා කියලයි කියන්නේ. ඒ වාගේම විදුලි නිශ්පාදනයේදී සිදුවන අඩු වැඩි වීම් නිසා උපකරණ වලට සිදුවන හානිය වලක්වා ගන්න විලායකයක් යොදවල තියෙනවා. ඒකෙන් විදුලිය පාලනය කරල එක් මට්ටමක පවත්වාගෙන යනවා. එය පැරණි නැවක තිබුණ පද්ධතියක් පසු කලෙක ඩී. එස්. සේනානායක සමයේදී ලංකාවට තෑගි කරල තියෙනවා.

මුලින්ම ටැංකි තුල එක්රැස් වුන පැණි මේ පේනටැංකියට පොම්ප කරනවා. ඊට පස්සේ ඒකට කාබයිට් එකතු කරනවා. pH අගය බලල තමයි එකතු කරන්නේ. ඒ පැණි සමඟ ඇති මඩ හා අපද්‍රව්‍ය ඉවත් කරන්න. කලින් නම් මේකට පාවිච්චි කරල තියෙන්නේ අළුහුණු සහ ගෙන්දගම් මිශ්‍රණයක්. ඒ ටැංකිය තුල ටොන් එකක් එකතු වුනාට පස්සේ ඒක ටැංකියේ පතුලේ තියෙන වෑල්වයක් මගින් ඉබේම ඒක පහල ටැකියට යවල තවත් තැනෙකට පොම්ප කරනවා. මේ ටැංකියට සම්බන්ධ මේ මීටරයෙන් ඒ වෙද්දී ටැංකියෙන් නිදහස් කල පැණි ටොන් ප්‍රමාණය පෙන්නුම් කරනවා. ඒ පැණි මෙතැන තියෙන උඳුන් වලින් යවනවා. ඒවා තුල ඉහල හා පහලට විහිදුන නල පද්ධතියක් තමා තියෙන්නේ. මෙතැනින් ගමන් කරද්දී වාශ්ප ආධාරයෙන් පැණි උණු කරල විශාල පීඩනයකට භාජනය කරනවා. ඒක ආසන්න වශයෙන් වර්ග අඟලට රාත්තල් 200ක් විතර පීඩනයක්. තවත් මේ පේන විදිහට වශ්ප ගෙනයන බට නවල තියෙන්නේ ඒවා තුල පීඩන ගැස්මක් ඇතිවීම වලක්වන්න. මේ පේන ටැංකියෙන් තමා මේ සියල්ල සඳහා ගන්නා ජලයේ තියෙන කඨිනත්වය ඉවත් කරන්නේ. සාමාන්‍ය ජලයේ තියෙන කඨිනත්වය නිසා බැඳෙන රසායණික ද්‍රව්‍ය තට්ටුව නල අභ්‍යන්තරයේ බැඳීම වලක්වන්න තමා මෙහෙම කඨිනත්වය ඉවත් කරන්නේ.

අවසානයේ ආපු පැණි විශාල ටැංකියකට පොම්ප කරනවා. ඒ ටැංකිය තුල නිතර කරකවමින් තමයි මේ පැණි තියෙන්නේ. එතැනින් මේ පැණි පිරිසිදු කිරීම තමයි කරන්නේ එතැනදී මඩ හා වෙනත් අපද්‍රව්‍ය පහල බහිනවා. විවිධ මට්ටම් වලින් යොදා තියෙන වෑල්ව මගින් තත්ත්ව පරීක්‍ෂාවක් කරල පිරිසිදු පැණි වෙන්කරල ටැංකියකට යවන අතරෙම අපිරිසිදු කොටස් තවත් විශේෂ යාන්ත්‍රණයකින් පිරිසිදු කරනවා. මේ තියෙන්නේ ඒ සඳහා සකස් කල සිලින්ඩරාකාර කැරකෙන ටැංකියේ ඇතුලත. මේක කරකැවෙන්නේ පැණි පිරුනු කටාරමක ස්පර්ශවෙලා. මේකේ පිටත මේ පේන විදිහට ඉතා සියුම් දැලකින් තමා සකස් කරල තියෙන්නේ. කරකැවෙන අතරෙම මේ පෙනෙන බට වල ඇති පීඩනය අවම කරල පැණි ඇදල ගන්නවා. ඒ වාගේම කරකැවෙද්දීම පිට පැත්ත පිහදාල දානවා. ඒ අපද්‍රව්‍ය වෙනම එකතු කරල කර්මාන්ත ශාලාවෙන් පිටතට යවනවා. පිරිසිදු පැණි නැවත විශාල ටැංකියට යවනවා. අවසානයේ පිරිසිදු පැණි කර්මාන්ත ශාලාවේ තවත් කොටසකට පොම්ප කරනවා.

එතැනට සිද්ධ වෙන්නේ සීනි නියමිත ප්‍රමාණයට කැට කිරීම හා තවදුරටත් පිරිසිදු කිරීම. ඒක වෙන්නේ විශේෂ තත්ත්ව වලට පත්කරාම ඒ කියන්නේ විශේෂ උෂ්ණත්ව හා පීඩන වලට පත්කරල රසායණික ද්‍රව්‍යයක් එකතු කරනවා. ඒක සීනි සමඟ මිශ්‍ර නොවුනත් සීනි කැට වල ප්‍රමාණය වැඩි කරනවා.ඒ කලාම සීනි තියෙන්නේ මෙන්න මේවගේ. නියම ප්‍රමාණයේ සීනි කැට හැදුනාම ඒවා වෙනම ටැංකි වලටත් ප්‍රමාණය අඩු සීනි කැට සහිත ද්‍රාවණ නැවත පෙර පියවරටත් එවනවා. මේ තියෙන්නේ එහෙම හදාගත්තු සීනි ද්‍රාවණ. ඒවා නිතර කලතමින් තමා තියෙන්නේ. ඒ කැටි ගැසීම වලක්වන්න. දැන් ඉතිරි වෙලා තියෙන්නේ සීනි ද්‍රවණයේ තිබෙන මොලෑස් නමින් හැඳින්වෙන දුඹුරු පැහැ ද්‍රාවණය ඉවත් කරල සීනි වියලා ගන්න එක. මේ තියෙන්නේ මොලෑස් ඉවත්කරන්න සූදානම් කල ටැංකියක්. පස්සේ මේ පේන වියලනය තුලින් සීනි දුවණ යවනවා. ඒක සිද්ධ කරන්නේ රත් කරපු වාතය අධික වේගයෙන් එන්න සලස්වලයි. මේ පේන කරකැවෙන සිලින්ඩරය තමා ඒකට උදව් කරගන්නේ. ඒකේ ඇතැලේ මේ විදිහට තහඩු පටි දාලා තියෙන්නේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරගන්න. එතැන අවසන් කෙලවරෙන් සීනි පහලට වැටෙන්නට සලස්වල වෙනමත් ඇතිවන දුහුවිල්ලක් වැනි කුඩා සීනි කැට වෙනමම නැවතත් ටැංකිවලට යටන්නේ දියකරලයි.

යාන්ත්‍රණ කීපයක් මගින් සීනි ගුලි හැදෙන එක වලක්වල විශාල ටැංකි දෙකක එකතු කරනවා. මේ තියෙන්නේ ඒ ටැංකියේ පතුල. මේ ඇතුලත. එතැනින් ස්වයංක්‍රීය විදිහට සීනි කිලෝ ග්රෑම් 50ක් වුන ගෝනි වලට අහුරනවා. පස්සේ ඒවා ගබඩාවලට යවල රටපුරා වෙලඳසැල් වලට යවනවා. එතකොට මේ තියෙන්නේ ජලය සිසිල් කරන ස්ථානය. එතැන එක් කාණුවක රත්වුන ජලය කර්මාන්ත ශාලාවෙන් පිටතටත්, අනෙකේ සිසිල් ජලයත් කර්මාන්ත ශාලාව තුලටත් එනවා. එතැනදී වතුර මල් හදල වතුර ඉක්මනින් සිසිල් කරගන්නවා. අමතරව සිසිලන ඕන වුනාම ඇල මාර්ගයකින් සිසිල් ජලය ගන්නවා.

තවත් සුළු සුළු දේ ඇති මට අමතකවුන. ඒ දේවල් හරි මේ දේවල් වල වරදක් හරි තියෙනවා නම් මට කොමෙන්ටුවක් විදිහට දාන්න කියල ඔයාලගෙන් ඉල්ලනවා. මේ සියළු විස්තර බලා ගන්න, අහගන්න, කියලා දෙන්න මට සහය වුනේ මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක් වුන ශාන් ලක්‍ෂිත මධුසංක සොහොයුරා සහ එතැන වැඩ කරන සුමනසිරි වන ඔහුගේ පියාණන්ට වගේම මේ අත්දැකීම මට ලබාගන්න උදව් වුන, කර්මාන්ත ශාලාවේදී දැනුම ලබාදුන්න අයටත් මාගේ හෘදයාංගම ස්තූතිය. සියළු පින්තූර මෙතැනින්.


ගමන් බිමන් වල විසි දෙවන කොටසට....

9 comments:

  1. පිංතූර ටික පුංචි කරල (thumbnails) අවශ්‍ය තැන්වලට දාන්න. High resolution version එකට ඒ ඒ image එක ලින්ක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඕකේ මම දාන්නම්.... :)

      Delete
  2. ඇහ්.. කවුද මෙ ඩුබ්ලිකෙට් සුලා...මමයිනෙ සුළා.. :D

    ජය වෙවා...

    ReplyDelete
    Replies
    1. හපොයි මම ඔරිජිනල් සුලා... :P

      Delete
  3. බොහෝ ම ස්තූතියි..
    පින්තූර දැක්කා ම චිත්‍රපටියක් වගේ සියල්ල යළි මගේ මතකය ඉදිරියට ආවා.
    පින්තූර වෙනම නැති ව, පිළිවෙලටම තිබුණානනම් අධ්‍යාපනික වටිනාකම වැඩියිනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම සර්. පිලිවෙලින් මෙහිම පල කරන්න හිතුවත් මොබයිල් වලින් කියවන අයගේ ඉල්ලීම් තිබුනා කලින් ඉඳන්ම පින්තූර ලෝඩ් වෙද්දී ටිකක් වෙලා යනව කියල. ඒ නිසා තමයි වෙන වෙනම දාන්න පුරුදු වුනේ. කොහොම වුනත් අවසානයේදී පින්තූර ඔක්කොම තියෙන ලින්කුවක් දානවා මම.
      ඒ වාගේම ස්තූතියි ඔ‍බේ අදහස් වලට සර්.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!