මගේ ගමන් බිමන් තිස්පස් වන කොටස - ශ්‍රී පාදය වන්දනා කරන්න

ශ්‍රී පාදය වන්දනා කරන්න ලංකාවේ තියෙන තැන තමා සමනල කඳු මුදුන. මෙතැනට යන්න මාර්ග හයක් සඳහන් කරන්න පුළුවන්. එයින් ප්‍රධානම වෙන්නේ කිලෝමීටර 8.5 තියෙන රත්නපුර - පලාබද්දල මාර්ගය, කිලෝමීටර 5ක් තියෙන හැටන් - නල්ලතන්නි මාර්ගය හා කිලෝමීටර 12ක් තියෙන කුරුවිට - එරත්න මාර්ගය. ඊට අමතරව මුලේවත්ත, මුකූවත්ත හා මාලිම්බොඩ කියන මාර්ගත් තියෙනවා. මෙයින් වැඩිපුරම භාවිත කරන්නේ පලාබද්දල හා නල්ලතන්නි මාර්ග දෙක. ඒකට හේතුව වාහන ගමනාගමනයට සුදුසු හා කෙටි මාර්ග කියන කාරණා දෙක සම්පූර්ණ කරන්නේ මේ මාර්ග දෙක වීම. එරත්න පාරත් ටිකක් විතර පාචිච්චි වුනත් ඒ මාර්ගය අපහසු නිසාවෙන් භාවිත කරන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතින් කඳු මුදුනට නම් තියෙන්නේ පාරවල් දෙකයි. අනිත් පාරවල් සියල්ල මගදී සම්බන්ධ වෙලා පාරවල් දෙකක් නැගෙනහිර හා දකුණු දිශා වලින් සමනල කඳු මුදුනට එන්න පුළුවන්. කඳු මුදුනට කිලෝමීටර 2ක් කලින් තමා එරත්න පාර හා පලාබද්දල පාර සම්බන්ධ වෙන්නේ.
සමනල කන්දට විවිධ නම් විවිධ ආගම් වල අය පාවිච්චි කරනවා. සමනලුන් විශාල වශයෙන් පැමිණෙන තැනක් නිසාවෙන් සමනල කන්ද, බුදුන් වහන්නේ, සමන් දෙවිඳුන්ගේ ආරාධනා පිළිගෙන ශ්‍රී පාදය තැබූ තැන නිසාවෙන් ශ්‍රී පාද කන්ද විදිහටත්, සමන් දෙවිඳුන් වැඩ සිටින කන්ද නිසාවෙන් සමන්තකූඨය විදිහටත් බෞද්ධයින් ව්‍යවහාර කරනවා වාගේම ශිව දෙවිඳුන්ගේ පාද තැබූ තැනක් විදිහට සවගරෝහරම් විදිහට හින්දූන් හා ද්‍රවිඩයින් පාවිච්චි කරනවා. මෑණික් සුලභ කඳුවැටියක් නිසාවෙන් රත්නගිර විදිහටත් කිතුනුවන්ගේ විශ්වාස පරිදි ආදම් හා ඊව, පලමු මිනිසුන් හමුවූ තැන විදිහටත් එනිසා ආදම්ගේ කඳුමුදුන (Adam’s peak) විදිහටත් හඳුන්වනවා. තවද රාමායණයේ කියවෙන විදිහට රාවණ රාජධානියේ කියවෙන තිරිකුඨ පර්වතය මේක කියලත් විශ්වාසයක් තියෙනවා. කොහොම වුනත් මීටර 2244ක් උස මේ කඳු මුදුන තරණය නම් ලේසි නැහැ. මහවැලි, කැලණි, කලු හා වලවේ යන ප්‍රධාන ගංගා හතර පටන්ගන්නේ මේ කඳු මුදුනින් වීමත් වි‍ශේෂයි.
සාමාන්‍යයෙන් වන්දනා කාලය විදිහට සලකන්නේ දෙසැම්බර් - මැයි කාලය. අනිත් කාල වලදී සුලඟ අධික වන අතරම වැස්ස හා අධික මීදුම් තත්ත්ව නිසා තරණය නම් අපහසුයි. නමුත් බුදුදහම ගැන කියැවෙන්නා වූ ග්‍රන්ථ වල සඳහන් විදිහට මේ කාලය දෙවියන් වෙනුවෙන් වන්දනාව සඳහා වෙන්වෙලා තියෙනවා. තවද මේ කියන ප්‍රදේශය විවිධ හාස්කම් වලින් පිරුණු ස්ඨානයක් විදිහටත් එතැන සිදුවුණ හාස්කම් ගැන විවිධ කතාන්දර පවා ජනවහරේ තියෙනවා. පෙර දවස නිල් මැණිකක් මත තිබූ පාද ලාංඡනය දකින්න තැනක් තිබූ බවත් පසුව නිධන් හොරු හා ත්‍රස්තවාදීන් නිසාවෙන් එම ස්ථානව වසා දැමූ බවත් කියවෙනවා. (ඔයාලා දන්න ජනප්‍රවාද තියේනම් කොමෙන්ටු හැටියට දාන්න අනිත් අයට දැනගන්න)
මගේ ගමන පටන්ගත්තේ 2013 අප්‍රේල් මාසයේ හය වෙනිදා. හුඟක් අය අවුරුදු නිසාවෙන් යන්න අදිමදි කරත් අමාරුවෙන් දහදෙනෙක් හොයාගෙන ගමන පටන්ගත්තේ රත්නපුර පලාබද්දල මාර්ගයෙන්. දවල් එකට පටන් ගත්ත ගමන පහල තියෙන පන්සලෙන් කිරිකෝඩු” (පලවෙනි පාර වන්දනා කරන) අයට ආශිර්වාද පඬුරු බැඳගෙන ආරම්භ කලා. ගිය අයගේ අසනීප අමාරුකම් නිසාවෙන්ම හැරමිටිපානට එද්දී රාත්‍රී 10ට විතර ඇති. එන අතරතුර ලිහිණිහෙල බලාගෙන, ගෙත්තම්පානෙන් කිරිකෝඩු අය ගෙත්තම කරල සීත ගඟුගෙන් නාවගෙන පේවෙලා එන්නත් අමතක කලේ නැහැ. හැරමිටිපානේ පැය දෙක තුනක් ගිමන් හැරපු අපි එකට විතර ආයෙත් ඉතිරි ටික තරණය කලා. කොහොම වුනත් අමාරුම හරිය වෙන මහගිරිදඹ තරණය කරල විදේශිකයන්ගේ ඇස් කුල්මත් කරන විශේශිතම දෙයක් වුන ඉර සේවය බලන්න ප්‍රමාද නෙවෙන්න තරම් හා පැහැදිලි අහසක ඉරසේවය බලන්න තරම් අපි වාසනාවන්ත වුනා. ඒ විතරක් නෙවෙයි මේ කන්දේ හෙවනැල්ල නියම ත්‍රිකෝණාකාර එකක් වීමත් විශේෂයි. යන අතරේ පුංචි දිය පාරක් වුන කළු ගඟේ ආරම්භය හරහා යන්නත් පුළුවන් වුනා. කළුතරින් මුහුදට වැටෙන කළු ගඟ හරහා යන එකත් එක්තරා විදිහක වීරකමක්. ඒත් එක අඩියයි තිබ්බේ. =D

කඳුමුදුණේ ඉර සේවය බැලුවි විතරක් නෙවෙයි ඔයාලට බලන්න ඒක පටිගත කරන්නත් මම අමතක කලේ නෑ. මෙන්න වීඩියෝව.
video
සිංහල බෞද්ධයන් වෙනුවෙන් මෙන්න ශ්‍රී පාද වන්දනා ගාථාව.

                                    යං නම්‍මදාය නදායා පුලිනෙ ච      තීරෙ
                                    යං සච්චබද්ධ ගිරිකෙ     සුමනාචලගේග
                                    යං තත්ථ යොනකපුරෙ මුනිනො ච පාදං
                                    තං පාදලාඤ්ඡනමහං සිරසා          නමාමි

මෙහි කියවෙන තේරුම වන්නේ බුදුරජාණන් වහන්සේගේ යම් පාසලකුණක් නර්මදා නදියේ ඉවුරේ වැලිතලාවේද, යම් පා සලකුණක් සච්චබද්ධ කඳු මුදුනේද, යම් පාසලකුණක් සමන්තකූට පර්වත මුදුනේද, යම් පා සලකුණක් යවන දේශයේ වේද, ඒ උතුම් වූ ශ්‍රී පාද ලාංඡන මම සිරසින් නමදිමි යන්නයි.

කඳුමුදුණේදී විවිධ වර්ගවල විවිධ ප්‍රමාණයෙන් යුතු සමනලුන් දකින්න ලැබෙද්දී මේ කන්දට සමනල කන්ද කියන්නේ ඇයි කියලා තේරුණා. පූජාවෙන් පස්සේ සිරිපතුල වැන්ඳ අපි හැටන් පාරෙන් එන්න පිටත් වුනා. ඒ මාර්ගයේ ගමන පහසු නිසයි ඒක තීරණය කලේ අනිත් කරුණ තමා වෙනසක් ලබාගන්න. එන අතරතුර හමුවෙන මධ්‍යකාලීන සිංහලයෙන් ලියූ 12වන සියවසට එහෙමත් නැතිනම් නිශ්ශංකමල්ල රජු දවස ඒ කියන්නේ ක්‍රිස්තු වර්ශ 1187-1196 දක්වා කාලයට අයත් සෙල්ලිපියක් සහිත භගවා ලෙනද දකින්න ලැබුණා. එහි සඳහන් විදිහට නිශ්ශංකමල්ල රජ විසින් රට එක්සේසත් කරල නව රාජ්‍ය වර්ශය සඳහා සියළු ආභරණ වලින් සැරදී ඔටුණු පැලඳ ශ්‍රී පාදය නමස්කාර කරල තියෙනවා. එතැනින් පහලට එද්දී නිචි ෆූජි නමින් හැඳින්වෙන ජපන් බෞද්ධ තෙරුන්වහන්සේ විසින් 1976දී නිර්මාණය කල සාම චෛත්‍යය අපට දකින්න පුළුවන් වුනා.

ගිය නඩේට එහෙමත් නැත්තම් කණ්ඩායමට කලින් ආව මම සීත ගඟුලේ කකුල් ඔබන් හිටියේ මහන්සිය නැතිවෙන්නත් එක්ක. අවසානයේ පහල තිබුණ සාම චෛත්‍යය වන්දනා කල අපි ගමනේ අවසානයට ලංවුනා. කියන්න කණගාටුවට කාරණාව නම් කොච්චර නාම පුවරු දැනිවීම් තිබුණත් කුණු කසල ඇති තැන් නම් එමටයි. සංචාරය කරන අයගෙන් ඉල්ලන්නේ මෙතැන විනෝද වන ස්ථානයක් නෙවෙයි. මේක අපේ ආගමික ස්ථානයක් නිසාවෙන් එතැනට ඔබින විදිහට එන්න. අනික මේ සියළු අපිරිසිදු කිරීම් කරන්නේ ශ්‍රී ලාංකියන් වීම නම් බොහෝම නරක දෙයක්. අපි කොයිතරම් අමාරුවෙන් කන්ද තරණය කලත් ද්‍රව්‍ය රැගෙන යන ගොඩ දෙනෙක් ඉන්නවා. ඉහල ඇති කඩ වලට අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න ඒක ජීවිකාව කරගත්ත අය ගොඩක් දවසට දෙපාරක් කන්ද තරණය කරනවා. නල්ලතන්නියෙන් හැටන් වලට ඇවිත් දුම්රිය ගමනකට සූදානම් වෙලා ආවත් කාලවේලාවේ පරක්කුවන් නිසාවෙන් ඒක බැරිවුනා. පස්සේ බලංගොඩ නගරයට බස්එකේ ආව අපි එතැනින් පැල්මඬුල්ල නවාතැනට ආවා. එද්දී බස්එකේදී කතාබහ කල දෙමල අයගේ විවිධ කතාවලින් තවත් හොයන්න පැති ගොඩක් එකතු කරන් ගමනේ අවසානයට ආවා.


No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!