මගේ ගමන් බිමන් හතලිස් හතරවැනි කොටස - ඕල දොල

දෙනියාය අකුරැස්ස මාර්ගයේ හමුවන හුලන්දාව ප්‍රදේශය අවට තියෙන තැනක් ගැන තමා මේ විස්තරය කෙරෙන්නේ. මගේ ගමන් බිමන් වල රසිකයෙකු වුන දීප්ප කුමාර කියලා කෙනෙක් මාත් එක්ක මූණු පොතේ කතාබහ කරන මිත්‍රයෙක් තමා මට මේ තැන ගැන විස්තර කියලා ඒ තැන පෙන්වන්න මඟ පෙන්වීම් කරන්න ඉදිරිපත් වුනේ. ඒ පිලිබඳ මගේ ස්තූතිය ලබා දෙන එක මුලින්ම කලා නම් හොඳයි කියලා මට හිතුනා.
මේ කියන දොලට යන්න පාරවල් තුනක් තියෙනවා. ඒ හුලන්දාව, බටගොඩ හා දීගල කියන පාරවල් තුන. මේ පාරවල් වලින් කෙටිම මාර්ගය වෙන්නේ හුලන්දාව මාර්ගය. නමුත් ගොඩක් දෙනා යන්නේ නම් දීගල මාර්ගයෙන්. ඒතැන තමා පරිසර අමාත්‍යංශයේ නාමපුවරුව තියෙන්නේ. අපි තෝරාගත්තේ හුලන්දාව මාර්ගය. හුලන්දාව හංදියෙන් කිලෝමීටර 4ක් විතර ඇතුලට යන්න ඕන දොල ගාවට යන්න. හැබැයි එතැනින් කිලෝමීටර තුනක් විතර වාහනයක යන්න පුළුවන්. ඉතිරිය නම් පයින් තමා.
මෙතැන දොල පාර ගලා හැලෙන්නේ පොඩි පොඩි දිය ඇලි කීපයක් මවමින්. සිංහරාජ වනාන්තරයේම කෙලවරක් වෙච්චි මේ ප්‍රදේශය රක්‍ෂිත වනාන්තරයක්. හැබැයි ගම්වාසීන් නම් මේ ප්‍රදේශය හඳුන්වන්නේ ඕල දොල රක්‍ෂිතය කියන නමෙන්මයි. සුවඳ පුස්පේ කන්දෙන් එන දොල පාරවල් වලින් ඕල දොල ඇල්ල, පුවක් අරඹ දොලඇල්ල, ගුලනහේන දොල ඇල්ල, කොලොම්ඹල දොල ඇල්ල හා මිරිස්වැල් දොල ඇල්ල කියන දිය ඇලි තරමක් ප්‍රසිද්ධයි.

පුවක් අරඹ දොල ඇල්ල කියන ඇල්ල අවට විශාල පුවක් ගස් ප්‍රමාණයක් දකින්න ලැබෙන නිසා ඒ නම ලැබුනා කියලයි කියන්නේ. ඒ වගේම තමා මිරිස් වැල් දොල ඇල්ල කියන එකත්. මේ ඕල දොල හා පුවක් අරඹ දොල අතර ඇති විශාල පොකුණ කළුදොල කියන නමින් හැඳින්වෙනවා. තරමක් ගැඹුරු මේ වල කළු පාටින් පෙනෙන නිසාවෙන් නම ලැබුණා විය හැකියි. පුවක් අරඹ දොල පහල කොටස අන්දායම් කුම්මිය නමින් හැඳින්වෙනවා. ඒක අවුරුදු සිය ගනනක් මෙතැනට ලැබුණු නම. ගමේ වැඩිහිටියන් පවා මෙතැනට මේ නම් ලැබුණු හැටි නම් හරියාකාරව දන්නේ නැහැ. මේ සියළු දොල පාරවල් හුලන්දා ඇලට වැටිලා එතැනින් නිල්වලා ගඟට වැටෙනවා. මේ දොල පාරවල් වල බුලත් හපයා වැනි ඒක දේශික සතුන් හා ශාක විශේෂ දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බේඳුරු වැනි පරපෝෂිත ශාක වුනත් මේ වනාන්තරයේ දකින්න පුළුවන්. ඒ අපිට මේ අපි ඉන්නේ වැසි වනාන්තරයක බව කියාපාමිනුයි.
මේ පිළිබඳ ජනවහරේ නම් තියෙන්නේ මෙහි තියෙන ජලයට ඖෂධීය ගුණයක් තියෙනවා කියලයි. ඒ ගැන ගමියන් කිව්වේ මෙන්න මෙහෙම. ඔතැන බොහොම හාස්කම් තියෙන දොලක් ඒ කාලේ. උණ සන්නිපාතය හැදුනු කෙනෙක්ට වුනත් දොලෙන් වතුර ටිකක් දුන්නා නම් සනීප වෙනවා. කොහෝම උනත් ප්‍රේමදාස ආණ්ඩු සමයේදී මේ ප්‍රදේශයෙන් ගස් කපලා අලි ඇතුන් ලවා කොට ඇද්දවූ බවත් එතුන් සිට මේ අනුහස් නැතිවූ බවත් කියනවා. ඒ වනාන්තර විනාශය නිසා දෙවියන්ගේ දඬුවමක් බවයි ගැමියන් කියන්නේ. කොහෝම වුනත් දැන් ආයෙත් ඒ අනුහස් ලැබෙන බවයි කියන්නේ.

කටකතා හා ජනප්‍රවාද කොහොම වුනත් දොලපාරේ වතුර නම් බොහෝම පිරිසිදුයි. ටිකක් බිව්වත් වෙහෙස සම්පූර්ණයෙන්ම නිවෙන එකනම් අපිත් දැක්ක ඇත්තක්. ගිහින් බලන්න වටින තැනක් ස්වභාවික ශබ්ද හා ගහකොල අතරේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන තැනක්. හිතට මානසික සුවයක් දැනෙනවා. ඒත් කියන්න ඕන දොලපාර දිගේ දොලගල් උඩින් තියෙන නිසාවෙන් කකුල් වලට නම් ටිකක් විතර අමාරුයි විතරක් නොවෙයි බොහෝම පරෙස්සමට අඩිය තියන්න වෙනවා. ඒ ලිස්සන නිසාවෙන්. ඒකෙ තියෙන ස්වභාව සෞන්දර්යය විඳල කාල බීල නාල එන්න පුළුවන් තැනක්.(බොන්න කිව්වේ මත් පැන් නම් නෙවෙයි.) ගෙනියන අපද්‍රව්‍ය කැලේට එකතු කරලා ඒ තැන් විනාස කරන්නේ නැතුව තවත් කෙනෙකුට ඔයාල දැක්ක සුන්දරත්වය ඒ විදිහෙන්ම බලන්න දෙන්න හිතන් මේ තැන් වලට ඇතුළු වෙන්න.


7 comments:

  1. Niyamay machan..!
    Digatama karanna.

    ReplyDelete
  2. https://www.facebook.com/media/set/?set=a.4933485054147.1073741841.1209163327&type=3&uploaded=159

    මේ තියෙන්නේ මදිය කිව්වාට....

    ReplyDelete
    Replies
    1. ටැං කිව්
      දැන්ම ගිහින් බලනවා!

      Delete
  3. බොහොම අපූරු සංචාරක ස්ථානයක් වගේ. හුලංදාව කීවම මට මතක් උනේ වැල්ලවායෙ හුලංදාව

    "හුලංදා ඔය කිමද මල්වරව ඉල් මහට"
    -වස්සානය-රත්න ශ්‍රී

    ReplyDelete
    Replies
    1. අහ් අපූරු තැන් එමටයි මනෝෂ්... මේ පුංචි ලංකාව අපූරු තැනක්

      Delete
  4. ලස්සන පලාතක් වගේ දවසක යන්න ට්‍රයි එකක් දාන්න ඕනා. හිතට පොඩි රෙස්ට් එකකටත් එක්ක

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!