මගේ ගමන් බිමන් අසූ දෙවැනි කොටස - විහාරහේන, ආඩාරදෙණිය සුන්දරත්වය

දෙනියාය කියන්නේ අපූරු සුන්දරත්වයකින් පිරි පරිසරයක්. මීදුම් පිරුණු කඳු පන්ති වලින් වටවෙලා තියෙන ප්‍රදේශයක්. සිංහරාජ වනාන්තරයේම කෙලවරක තියෙන නිසා බොහෝමයක් සත්ත්ව විශේෂ හා ගහකොළ දකින්න පුළුවන්. ඉතින් මේ සුන්දරත්වය නිසාම තවත් මිත්‍රයෙක් එක්ක දෙනියාය බලන්න යන්න හිතාගත්තා. ඵලවෙනි අදියර වුනේ ඌරුබොක්ක ප්‍රදේශයේ ඉන්න මගේ මිත්‍රයාගේ ඥාතියෙකුගේ නිවසේ නවාතැන් ගන්න එක. එතැන ඉඳන් කොටපොල හරහා දෙනියායට එන්න තමයි සැලසුම වුනේ. එතැනත් හරිම අපූරු තැනක්. කඳු මුදුනක තේ වත්තක් මැද තියෙන ගෙවල් කිහිපය අතරින් හිරු උදාව බලන්න වාසනාව ලැබුනා.
උදේ එතැනින් පිටත්වුන අපිට විහාරහේන ප්‍රදේශයට එන්න ටිකක් වෙලාව ගතවුනා. ඒකට හේතුව වුනේ අවට ඇති සුන්දරත්වයමයි. මග තියෙන සුන්දරත්වය විඳගෙන කඳුමුදුනට ගියේ එන ගමන් තියෙන දේවල් බලන්න හිතාගෙන. අපේ මාර්ගයේ අවසාන වුනේ පුද්ගලික ඉඩමක් වුන Rain forest ecolodge පුද්ගලික  සමාගම සතු සංචාරක නිවාස ගාවින්. එතැනින් එහාට යන්න අවසර නොතාබුන නිසා අපේ ගමන අවසන් වුනා. යන්න පුළුවන් උපරිම දුර ගිය අපි එතැන ඉඳන් අවට සුන්දරත්වය උපරිම වශයෙන් විඳගත්තා.
ආපසු ගමනේදී අපි මග හරිමින් ගිය වැදගත් ස්ථානයක් අසල නවත්තන්න අපි අමතක කලේ නම් නැහැ. ඒ තමයි සමන්ගල විහාරය. සමන්ගල විහාරය කියන්නේ සමන් දෙවියන් වැඩවාසය කල තැනක් කියලයි කියන්නේ. ඇත්තටම සමන් දෙවියන් දේව සභාව රැස්කල තැන කියලයි ගැමියන්ගේ විශ්වාසය තියෙන්නේ. ‍කොහොම වුනත් හරිම අපූරු නිස්කලංක තැනක්. කවුරුත් නැතත් යන එන සංචාරකයන් මෙතැන නවතින්න නම් අමතක කරල නැහැ. එතැනින් පිටත් වුන අපේ ඊලඟ නවාතැන වුනේ ආඩාරදෙණිය කියන ප්‍රදේශය.
ආඩාරදෙණිය කියන ප්‍රදේශයට ගිය අපි ගිංගඟ පෝෂණය කරන අතු ගංගාවක ඇති විශේෂ තැනක් බලන්න ගියා. මේ තැන වතුර ගලා යාම නිසාම විශාල ගල් වලවල් ඇති වුන තැනක්. මගේ මිත්‍රයාට මුහුණුපොතෙන් හමුවුන විදේශ රටක සේවය කරන තවත් මිත්‍රයෙකුගේ නිවසක් තිබුනු නිසා අපි ඒ නිවසට ගියේ මාර්ගය ගැන හරි අවබෝධයක් ලබාගන්න හිතාගෙන. ආගන්තුක සත්කාරය උපරිම අයුරින් ලාබාදුන්න ඔවුන් මාර්ගය පෙන්වන්න තරම් කාරුණික වුනා. ඒ මාර්ගය දිගේ අව අපට මේ අපූර්ව ස්ථානය දකින්න ලැබුනා. නමුත් වතුර මට්ටම නිසා අපට එය හොඳින් දකින්න නැතත් ගංගාවේ අනෙක් තැන් වල ඇති වතුර හා ගලායාමේ වේගය හා සසඳද්දී නම් මේ කියන ස්ථානය ටිකක් විතර දරුණු තැනක් වගෙයි පෙනුනේ.


හවස් වෙන සලකුණු තිබුනු නිසාත් රෑ වෙන්න කලින් ආයෙමත් එන්න ඕන නිසාත් අපි ගමන එතැනින් නවත්තල දාල ආයෙම එන්න පිටත්වුනා. කොහොම වුනත් සුන්දරත්වය පිරුණු මේ තැන් වලට ආයෙම එන  බලාපොරොත්තුව නම් මගෙත් මගේ මිත්‍රයාගේත් හිත්වල ඉතුරුවුන සුන්දර මතකයන් එක්කම රැඳුනා.


මෙන්න අපේ මතකයෙන් බිඳක් පුංචි මතක සටහන් දෙකක් විදිහට පළවෙනි එක සමන්ගල විහාරය ලඟදී දෙවැන්න Rain forest ecolodge එක ලඟදී....

තවත් පින්තූර ඇල්බමයකට 
video
video

මගේ ගමන් බිමන් අසූ එක්වැනි කොටස - එළමල්දෙණිය රජමහා විහාරය - පිටබැද්දර

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මෙම විහාරය පිටබැද්දර ඉඳල කිලෝමීටර 8ක් විතර ඇතුලට ගියාම දකින්න පුළුවන්. ක්‍රිස්තූ පූර්ව 2වැනි සියවස ඒ කියන්නේ අනුරාධපුර යුගයේ රජකල සද්ධාතිස්ස රජු තමයි කරවලා තියෙන්නේ. කඳු මුදුනක ගල් පර්වතය මත කරවන ලද විහාරය ජනාකීර්ණ බවෙන් සම්පූර්ණයෙන්ම ඈතින් තියෙන තැනක්. මුලින්ම තියෙන කඳ ගැටය මුදුනේ විහාර දොරකඩට ආවාට පස්සේ පහලට බහින්න තියෙනවා ගල් පඩි ගනනාවක්ම. එතැනින් පස්සේ සීග්‍ර නැග්මක් සහිතව අනිත් කඳුගැටයට නගින්න වෙනවා. මේ දෙක අතර පහල නිම්නය හරහා ගලන දොල පාර තමයි යන එන වන්දනා කරුවන්ගේ වෙහෙස නිවන්නේ. ගල් පඩි නම් හොඳින් පිලිවෙකට සකස් කරලයි තියෙන්නේ. ඒ නිසා පහසුවෙන් යන්න පුළුවන්. මේ විදිහට ගල් පඩි 200ක් විතර ඉහලට නැග්ගාම විහාරගෙය ලෙනක් තුල සකස් කරඇති ආකාරය දකින්න පුළුවන්.
මේ විහාරගෙය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවික ගල් වේදිකාවක් උඩ. ලෙන් විහාරය ඇතුලේ 18 රියනක් දිග සැතපෙන පිළිම වහන්සේ නමක් හා සිතුවම් විශාල ප්‍රමාණයක්  දකින්න පුළුවන්. මෑත කාලයේදී සිතුවම් ආරක්‍ෂා කිරීම සඳහා වීදුරු ආවරණයක් සකස් කරලයි තියෙන්නේ. විහාරය අසලම රජ්ජුරු බණ්ඩාර දෙවියන් සඳහා දේවාලයක් නිර්මාණය කරල තියෙනවා. මේ ප්‍රදේශය භාරව ඇති දෙවියන් රජ්ජුරු බණ්ඩාර දෙවියන් කියල තමයි සැලකෙන්නේ. එළමල්දෙණිය රාජ මහා විහාරය ඉදි කරවන අතරතුර එක්තරා පුද්ගලයෙක් මේ ස්ථානයට ඇවිල්ල තියෙනවා. සද්ධාතිස්ස රජු ඔහු කවුරුන්දැයි විමසූ විට තමන් මේ වනාන්තරයේ ආරක්‍ෂකයා සහ අධිපති පුද්ගලයා බව පවසල තියෙනවා. මේ පුද්ගලයා ගැන පැහැදුනු රජතුමා ලෙන් විහාරය තුළ ඔහුගේ පිළිරුව නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ කියවෙනවා. මේ ආකාරයට පැමිණ ඇත්තේ රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් බවත් ලෙන් විහාරය තුළ වූ දහ අට රියන් බුද්ධ ප්‍රතිමාවේ සිරස පිටුපස නෙලා ඇති ප්‍රතිමාව එම දෙවියන්ගේ බවද කියැවෙනවා.


ලෙන් විහාරය අසල ඇති පොකුණක ජලය ඇති අතර එය කෙතරම් වැස්සද උතුරා නොයන බවත් කොතරම් පෑවිල්ලක වුවද නොසිඳෙන බවත් කියවේ. පතුල සකස් කර නොමැති මෙය මෙහි ඇති විශේෂ ස්ථානයක් ලෙස සැලකේ. ලෙන් විහාරයේ සිට තවත් කඳුගැටය දක්වා විහිදුනු මාර්ගයක් තිබේ. එය චෛත්‍යය දක්වා විහිදෙන අතර හොඳින් සකස් නොකරන ලද මාර්ගය වනාන්තරය හරහා අඩි පාරක් ලෙසින් සැකසී ඇත. චෛත්‍යය හා එතැනින් පසු තවත් මාර්ගයක පැමිණීමේදී සිරිපා සටහනක් දැකගත හැක. හොඳින් අවධානයෙන් ගමන් කරන්නෙකු වනාන්තරයේ රැහැයියන්ගේ ශබ්දය හා සුලං ශබ්දය නිසා අපූර්ව දැහැනකට නිතැතින්ම සමවැදෙනු ඇත.
 

 
 
අපූරුවත්වය හා සුන්දර පරිසරයක වුවත් අවසන මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙන  පරිසරයයි. චෛත්‍යය හා කැලෑව තුල තැනින් තැන මිනිසුන් විසින් ගෙන ආ ඉටිකොල හා කැලි කසල නිසා සුන්දරත්වය නොබො‍දිනකින් හානි වනු  ඇත. සුන්දර පරිසරයක් වගේම අපේ පෞඩ ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් නිසාවෙන් මෙවැනි ස්ථාන ආරක්‍ෂා කරගෙන වන්දනාමාන කරන්න කියල තමයි ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නේ.