බෞද්ධයා, පිරිත හා දානය

ලංකාව බෞද්ධ රටක්. අපි බෞද්ධයෝ. මේක තමයි අපි කියන වචන ටික. හැබැයි මේ වචන අර්ථවත් කරන්න උත්සාහ අරන් තියෙනවාද? අද ලංකාවේ බොහෝමයක් ඉන්නේ නාමික බෞද්ධයන්. පන්සල් යන්නේ අනිත් අයට පේන්න. නැත්තම් වාසි ලබන්න. පන්සලට ගියාම ඇහෙන්නේත් අරක නෑ දායක මහත්තය මේක නෑ දායක මහත්තයා කියල විතරයි. මට නම් දැන් පන්සල් බහුතරයක් කහ සිවුර ඇඳගත්තු මහා ධන කුවේරයන්ගේ මන්දියක් විදිහටයි පේන්නේ. සියල්ල බිස්නස් එකක් වෙලා. පිරිත් කෑල්ලකට, බණ පදයකට, මතක බණකට නියමිත ගානක් තියෙනවා. ඒ ඒ මුදල තීරණය වෙන්න පනස්ලේ තියෙන වත්කම්, බලය හා ප්‍රසිද්ධිය බලපානවා. ඒ දේ එහෙම වෙන්න අපේ බෞද්ධයන්ගේ මාන්නයත් බලපානවා. මොකද අපිත් ලොකුවට සල්ලි දීල ආධාර කරල පත්තරේට නම දාගන්න බලන නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. 
පිරිත කියන්නේ මොකක්ද කියල දේශනා කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං
අන්තරායං පරිහන්තං තායතීති පරිත්තං
මහාතේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං
උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං
පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති පරිත්තං

හාත්පසින් අරක්‍ෂාව සපයන බැවින් පරිත්ත නම්වේ
අනතුරු වලක්වාලමින් ආරක්‍ෂාව ලබාදෙන බැවින් පරිත්ත නම්වේ
තේජවන්ත බැවින් සත්වයින් හට පැමිණෙන බය උවරුදු දුරුකරලන බැවින් පරිත්ත නම්වේ
හාත්පසින් සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලබා දෙන බැවින් පරිත්ත නම්වේ
පරිත්‍රාණ, පරිත්ත, පිරිත කියන තුනම එකම අරමුණ වෙනුවෙන් භාවිත කරන වචන තුනක්. සංස්කෘත භාෂාවේ පරිත්‍රාණ විදිහටත් පාලි භාෂාවේ පරිත්ත විදිහටත් සිංහල භාෂාවේ පිරිත විදිහටත් හඳුන්වලා තියෙනවා. පිරිත බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කල බුද්ධ භාෂිතයක්මයි. පිරිත මගින් කරන්නේ සත්‍ය ප්‍රකාශ කිරීම මගින් මෛත්‍රිය පතුරා බලයක් ජනාත කරවීමකි. පිරිතක ශබ්ද තරංග නිවැරදි පාලනයෙන් සිත සන්සුන් කිරීම හා අර්ථය තේරුම් ගැනීමෙන් ධර්ම වැටහීම ලබාදීම සිදුවේ. එවිට සිත සන්සුන් වන අතර පාලනය වූ සිත ධර්මය තේරුම්ගැනීමෙන් කායික හා මානසික සුව ලබාගත හැකිවේ. මෙය පිරිතේ අරුත කැටි කර බිඳක් ලියවීමක් පමණකි.
දානය කියන දේ හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට,

පුද්ගලයෙක් කිසිදු ලෞකික ප්‍රතිලාභයක් නොතකා තමන් සතු දෙයක් අත්හැරදැමීම දානය නම්වේ.

පඤ්චමානි භික්‌ඛවෙ සප්පුරුස දානානි , කතමානි පඤ්ච?
සද්ධාය දානං දේති
සක්‌කච්චං දාන දේති
 කාලේන දානං දේති
 අනග්ගහිත චිත්තෝ දානං දේති
 අත්තානංච පරංචච අනුපහච්චි දානං දේති

මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්‌ද?
ශ්‍රද්ධාවෙන් දන් දෙයි
සකසා දන් දෙයි
සුදුසු කාලයෙහිම දන් දෙයි
 දෙන දෙයෙහි සිතේ බැඳීමක්‌ නැතිවම දන් දෙයි
  තමාගේද, අන්‍යයන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන් දෙයි
සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න, සියතින්ම දෙන්න, හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැර කොට. දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.

දැන් දැන් පිරිතක් කියල (දැන් පිරිත් සජ්ජායනය කරන්නේ නැති නිසා) දානයක් දෙනව කියන්නේ පොසත් මිනිහෙක් කියල සමාජයට කියන ක්‍රමයක්. පිරිතක් කියන්නේ ඇයි? පිරිත කියන්නේ මොකක්ද නොදැන ඒ දේ කිරීම පලක් නැති වැඩක්. කොටින්ම කියනවා නම් පිරිතක් කරන්න පවා දැන් සැලසුම්කරුවන් ඉන්නවා. පිරිත් මණ්ඩප කුලියට ගන්න තියෙනවා. පිරිතක් කියන්න එන හාමුදුවන්ට ගානක් දෙන්න ඕන. ප්‍රවාහනය සපයන්න ඕන. තව තව දේ දෙන්න ඕන. ඒවා ලිස්ට් එකක් විදිහට පිරිතට ආරාධනා කරද්දී ලැබෙනවා. සමහර තැන් වල ඒවා කඩදාසි වල මුද්‍රණය කරල පවා තියෙනවා.
 
දානයක් දෙන්න වුතන් හාමුදුරුවෝ එක්කන් එන්න පන්සල් කීපයකට යන්න ඕන. ආව අයට පිරිකර දෙනවා, අවසානයේ සල්ලිත් දෙන්න ඕන. පිරිකරක් කඩෙන් අරන් ඒක පන්සලට දුන්නාම හමුදුරුවෝ ඒක ආයෙත් කඩේට දීලා ඒක මුදල් කරනවා. බොහෝ විට අපි කඩෙන් අරන් පූජ කරන පිරිකර අඩුම ගණනේ දහ පහලොස් වතාවක්වත් පූජ කරපු එකක්. දානය වෙනුවෙන් හදන්න ඕන දේවල් පවා ලිස්ට් එකක් විදිහට පන්සලෙන් ගන්න තියෙනවා. එහෙම නැති වුනොත් ඒක මහ අඩුවක් විදිහට හාමුදුරුවෝම ප්‍රකාශ කරනවා.

අද දානය පිරිත කරන්නේ මොනවා අරමුණු කරගෙනද කියන දේ තවමත් මට පැහැදිලි මදි. දානයක් පිරිතක් කරන එක ලොකු බෆල් දාගෙන ගමට ඇහෙන්න කරනවා. ඒක හොඳයි. නමුත් ගේ වටේමයි පාරෙයි ලයිට් දාගෙන මස් මාලු උයාගෙන, කේටරින් සර්විස් එකෙන් එන කෝකියා ගේ පිටිපස්සේ පණදාගෙන උයද්දී බණ පිරිත් කියන්නේ ඊට පස්සේ දවසේ උදේ දානය පන්සලටයි දවල් දානය ගෙදරය ගෙනෙල්ලි දෙන්න ඕන හින්දමද කියල හිතෙනවා. හොඳ ලොකු තැනක දානයක් කලාම පින්තූර ගන්නවා, වීඩියෝ කරනවා විතරක් නෙවෙයි ඒ ඒ දේවල් කරනවා දැක්කාම පන්සලේ හාමුදුරුවන්ටත් ඒකේ පිටපත් ඕන වෙනවා. අත්හැරීම පුරුදු කල යුතු තැන පින්තූරයක් වෙනුවෙන් බැ‍ඳෙන්නේ ඇයි? කියන දේ තේරුම් කරන්න බෑ. හාමුදුරුවෝ කණ එකේ විතරක් පින්තූර ගන්න එපා කියනවා. මම හිතන්නේ කන්නේ මොනවද කියල හා කන විදිහ මාට්ටු වෙන නිසා වෙන්න ඇති. 
දානය දවසට කන්න වගේම මත්පැන බොන්න දෙන තැනුත් තියෙනවා. දානෙට බීල කන්න බලාගෙන එන පිරිසකුත් ඉන්නවා. හාමුදුරුවෝ කෑවා නම් යන්න එපැයි. තව මොනව කියවනවද මන්ද? කියන වචන ඇහෙන්නේ නැති දානේ ගෙවල් නැති තරම්. පිරිත අහන්නේ නැතිව නූල් කෑල්ල ගැට ගහගෙන යන්න බලන් එන අයත් ඉන්නවා. දානයක් අවසානේ කන්න දුන්න ගානයි, හිටපු ගානයි, ආව හාමුදුරුවෝ ගානයි, එක්ක ගනන් බලනවා. මම ‍පොකු දානයක් කරල නේද? මාස ගානක් කතා කරන්න මාතෘකාවක්. හාමුදුරුවන්ට විතරක් පනස්දාහක් ගියා, ලක්‍ෂයක් ගියා කියන පුරාජේරු අනන්ත ඇහෙනවා. දානය පිරිත වෙනුවෙන් පේවිලා නිවැරදි උච්චාරණ එක්ක කෙරෙන පිරිතක ආනිසංස ලබන්න අනාගතයේ නම් කාටවත් බැරිවෙයි වගේ.

කොහොම වුනත් නිවැරදි අරමුණු එක්ක පිරිතක් කරනවා නම්, දුන් දේ ගැන හිතන්නේ නැතිනම් හාමුදුරුවෝ මොන අඩව්වක් ඇල්ලුවත් පිරිතක දානයක ආනිසංස කරවන්නාට ලැබෙයි. ඒත් ඒ දීපු දේ ගැන මත කියවනවා නම් තමත් දුන්දේට බැඳුනු තැනැත්තෙක් ඔවුනට ආනිසංස ලැබෙන්නේ නම් නෑ. එක තවත් එක් උත්සවයක් පමණයි.

1 comment:

  1. ඔබගේ කථාව හරි දැන් ගොඩක් දෙනෙක් දන් දෙන්නේ සමාජෙට පේන්ඩ .

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!