මගේ ගමන් බිමන් අනූ පස්වැනි කොටස - කබ්බලේ කන්ද_කන්නෙලිය රක්‍ෂිතය

කාලයකට කලින් මගේ ගමන් බිමන් වලින් කන්නෙලිය රක්‍ෂිතය පැත්තේ ගියා මතක ඇතිනේ. අමතක අය මෙතැනින් ගිහින් බලන්න.... 1934දී රක්‍ෂිතයක් විදිහට නම් කල කන්නෙලිය රක්‍ෂිතය කලෙක සිංහරාජ වනාන්තර හා සම්බන්ධ වෙලා තිබුනාය කියලයි කියන්නේ. කන්නෙලායට යන මාර්ගය ගැන විස්තරය කලින් ලිපියේ තියෙන නිසා එතැන ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කන්නෙලියට ඇතුලු වුනාම විවිධ මංපෙත් ඔස්සේ යන්න පුළුවන්. ලඟම ලේසිම පාර වෙන්නේ අනගිමල ඇල්ල, ගුහාව හා යෝධ පුස්වැල මාර්ගයයි. යෝධ නවඳගස මාර්ගය තවත් එක් පැත්තකට දිව යනවා. නාරංගස් ඇල්ල මංපෙතේ යන්නේ අනගිමල ඇල්ල යෝධ පුස්වැල හා ගුහාව යන තුනම පහුකරගෙන නිසා ඒ ගමනේදි මේ සියල්ලත් බලන්න පුළුවන්. ඊලඟ මාර්ගය තමයි කබ්බලේ කන්ද මංපෙත කියන්නේ. එය තමයි දුෂ්කර මාර්ගය වෙන්නේ. කන්ද නගින එක ලේසි ගමනක් නොවන නිසාත් කැලෑව මැදින් දුශ්කර මාර්ගයක් තියෙන නිසාත් යන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. කාලයක් ති‍ස්සේ සැලසුම් කරල අවසානයේ අපිත් මේ ගමන යන්න තීරණය කලා.
අපි ගමන ආරම්භ කරන්න කලින්ම අපිට හමුවුන අමුත්තා තමයි බට ඇටිකුකුලා කියන කුරුල්ලා... {ශ්‍රී ලංකා බට ඇටි කුකුලා (වල් ඇටි කුකුලා) Green billed coucal(Centropus chlororhynchos)} මෙයා රතු දත්ත පොතේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලෙක්. අපි යද්දී මෙයා කූඩුවකත් හදමින් තමයි හිටියේ. ගස් අතර කූඩුව හදන නිසා ඡායාරූපයක් ගන්න ලේසි වුනේ නෑ...
ඊලඟට අපිට හමුවුනේ කවදත් කන්නෙලියේදී හමුවෙන සතෙක්. ඒ තමයි ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා. මෙයත් ලංකා‍වට ආවේණික සත්ත්ව විශේෂයක්.... {ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා Sri Lankan Kangaroo Lizard (Otocryptis wiegmanni)} එතැනින් ඉදිරියට ඇදුනු අපි ක්‍රමයෙන් වනාන්තරය ඇතුලට යන්න වුනා. සීග්‍ර කන්දක් තිබුන නිසාත් අපි ඡායාරූප ගනිමින් ගිය නිසාත් අපේ ගමන සිද්ධ වුනේ ගොඩක් හෙමින්. විවිධාකාරයේ සතුන් බලාගෙන කබ්බලේ කන්දේ පලවෙනි බෑවුමට එද්දී නම් දවල් වෙලා තිබුනා. එතැනින් දෙවැනි බෑවුම ‍එහෙමත් නැතිනම් මහ කබ්බලේට ඇවිත් ගිමන් නිවන තුරුම අපි වේගයෙන් ඇවිදින්න වුනා. කන්නෙලියට පායන කාලයක් නිසා කුඩා දිය ඇලි සියල්ලම වගේ හිඳිලයි තිබුනේ. කලින් ගිය අය දාල තිබුන ප්ලාස්ටික් හා පොලිතින් ආදියත් එකතු කරගෙන අපි ආයෙත් කන්ද බහින්න සූදානම් වෙද්දීම අපිට ඉදිරියෙන් ගසක ඇහැටුල්ලා පැටියෙක් ඇදෙන්න වුනා.. එයාගෙත් ඡායාරූප අරන් වේගවත් ගමනක් ආවේ ටිකක් හරි කලින් ඇවිත් අනගිමල ඇල්ල ලඟ ගිමන් නිවන්න හිතාගෙනයි.
 
යන එන අතරතුර අපට බාඳුරා ශාක, තාපස්සර බුලත්, කටු කිතුල් ශාක වගේ ශාක වර්ග දකින්න ලැබුනා. ඒවයේ විශේෂත්ව ආදිය අපේ මඟ පෙන්වන්නා කියාගෙන යද්දී ඒවා අහගෙන හිටි අපට ගමන් විඩාව අමතක වෙන විදිහේ දැනුමක් ලැබුනා. කටුස්සන්ගේ බිත්තර පුපුරන සමය නිසා කටුසු පැටවුන් විශිල ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනත් වැඩිහිටි අය නම් දකින්න ලැබුනේ අඩුවෙන්. කැන්ගරු කටුස්සා සහ අංකටුස්සාගේ පැටවුන් දෙ‍දෙනා සාමාන්‍යයෙන් එකම වාගේ නිසා හඳුනාගැනීම අපහසු වුනත් මගේ වාසනාවට වගේ දෙදෙනාගේම පැටවුන්ගේ ඡායාරූප ලබා ගන්න පුළුවන් වුනා. ලංකාවට ආවේණික තවත් සර්ප විශේෂයක් වුන වයිරි හාල්දණ්ඩෙක් {වයිරි හාල් දණ්ඩා Gunther's Bronze-Back (Dendrelaphis caudolineolatus)}අත්තක් උඩ හිටියේ අපිට ඡායාරූප ගන්න කියන්නම වාගෙයි. විවිධ කෘමි විශේෂත් ගෙම්බන් කීපයකුත් ඡායාරෑප අරන් අපි අනගිමල ඇල්ල ලඟට එද්දීත් හවස පහුවෙලා තිබුනා.  
 
 
 
 
 
ඔයාලත් යන්න විවිධ දේ හමුවෙයි. සුන්දරත්වය විඳින්න. විනාස නොකර ආයෙත් එන්න. මම ගත්තු ඡායාරූප ටික වෙනම තැනක දාපු ලින්කුවට මෙතැනින් යන්න. ආයෙත් ගමනකින් හමුවන තුරු හැමෝටම ආයුබෝවන්...

1 comment:

  1. අන්තිම පින්තූරේ ඉන්න කුරුමිනියාගේ මූණ උඩුවාගේ මූණ වගේමයි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!