අම්බලන්ගොඩින් ලොවට දායාද කල නූල් රූකඩ කලාව



රූකඩ යන නම ඇහුණ කාටත් අම්බලන්ගොඩ කියන නම මතකය එනවා වා‍ගේම අම්බලන්ගොඩ කවුරු ලංකාවේ කොතනකදී වුනත් ගමේ නම කියද්දී රූකඩ කියන නම නිතැතින්ම මතක් වෙන තරමටම අම්බලන්ගොඩ හා රූකඩ කියන නම් දෙක බැඳිල තියෙනවා. අම්බලන්ගොඩ රූකඩ කලාවට වසර 300කට වැඩි අතීතයක් තිබුන බව සාක්‍ෂි වලින් ඔප්පු කරන්න පුළුවන් කම තියෙනවා.
 
 

රූකඩ කලාවේ වැඩියෙන්ම භාවිතා වෙන්නේ ‍අම්බලන්ගොඩින් එන නූල් රූකඩ කලාවයි. මීට අමතරව රිටි රූකඩ, අත් රූකඩ, සෙවනැලි රූකඩ, වෙස් මුහුණු රූකඩ, අත්මුහුණු රූකඩ, ඇඟිලි රූකඩ, රිටි හා නූල් මිශ්‍ර රූකඩ, ක්‍ෂුද්‍ර රූකඩ, ජ්‍යාමිතක රූකඩ, විද්‍යුත් රූකඩ සහ දැවැන්ත රූකඩ ලෙස භාවිතය අනුව වර්ග ගණනාවක් තිබෙනවා. රූකඩ කලාවේ ආරම්භය පිළිබඳව හරිහැටි අතීතයක් කියන්න බැරි තරම් වෙනවා. මිනිස් ශිෂ්ඨාචාර ආරම්භයේ සිට කලක් ගතවීමෙන් පසු විවිධ ඇදහිලි සමඟ රූකඩ නිර්මාණය ආරම්භ වී ඇතැයි සිතිය හැක. කලක් යද්දී මේ නිර්මාණය වූ රූකඩ මඟ තොට සංදර්ශන සඳහා යොදාගෙන තිබේ. ලංකාවේ රූකඩ කලාව ගැන ඇති පැරණිම මූලාශ්‍ර සාක්‍ෂිය වන්නේ ගජබා රජුන්ගේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා මහා පැරකුම්බා රජු විසින් නාට්‍යයේ හා සංගීතයේ දක්‍ෂ පිරිස් විවිධ දිශා වල ඔත්තු සේවයේ යෙදවූ බවට මහා වංශයේ තිබෙන්නා වූ කතාන්දරයයි.

මහාවංශයේ එය මෙසේ සඳහන් වේ.

“සේසත් ගෙන පෙළ සෑදී නටන්නා වූ යන්ත්‍රයෙන් නිමවන ලද මනහර වූ බඹරු වළල්ලෙන්ද හි ඇඳිලි බැඳගෙන සකසා හැසිරෙන්නා වූ නන් වන් දරණ යන්ත්‍ර රූපයෙන් කලා වූද ‍දේව රූපයෙන්ද මහා සමුදුරු මොනවට නංගවූ රළමාලා බඳු කාන්ති ඇති ඒ ඒ තැන දුවන්නාවූ යන්ත්‍රයෙන් කරන ලද අස්රූ වළල්ලෙන්ද පොළෝ තෙල බටුවා වූ වළාවෝ දොයි සැක උපදවන්නා වූ හස්ත්‍යාලංකාර ධරවූ යන්ත්‍ර රූ ඇතුන්ගෙන්ද යන ......”

එය පූජාවලියේ මෙ‍සේ ලියැවී ඇත.

“ඒ ඒ දික්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්ති රූප පඬික්තීන් හා පූජාලෝලීන් දිවූ සමුද්‍රරාජයාගේ මහරළ පෙළ සේ ඒ ඒ දික්හි යන්ත්‍ර බලයෙන් දිවෙන අශ්ව රූප පඹේකිතීන් හා ......”

මහා වංශය හා පූජාවලිය මේ සඳහන් කරන්නේ රූකඩ පිළිබඳව බැව් සිතිය හැකි වුවද එය නාට්‍ය කලාවක් ලෙසින් ඉදිරිපත් වූවා යැයි සාක්‍ෂි සෙවිය නොහැක. පැරණි නාඩගම් කලාවේ රඟපෑම් සිදුකලේ පිරිමි උදවිය පමණි. 19 වන සියවසේදී පමණ නාඩගම ඉවත්ව ඒ වෙනුවට නූර්තියට ඇති ඉල්ලීම වැඩි වීමට එය ප්‍රධානම හේතුවක් විය. මේ නිසාවෙන් නාඩගම් ශිල්පීන් රූකඩ නිර්මාණය කර ඒවායින් සංදර්ශන කිරීමට පෙළඹුනෝය. මෙකී මුල්ම රූකඩ කලා ශිල්පීන් ලෙස සුරතන්, බාලයා හා පොඩිනේරිස් ගුරුන්නාන්සේ හැඳින්විය හැක. කලාව වෙනස් කරමින් නූල් රූකඩ කලාව හඳුන්වා දී එය ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමිවන්නේ ගම්වාරී පොඩිසිරිනා ගුරුන්නාන්සේටයි.
ඡායාරූපය අන්තර්ජාලයෙනි

ඡායාරූපය අන්තර්ජාලයෙනි

ඡායාරූපය අන්තර්ජාලයෙනි
විවිධ රටවල නිශ්පාදනය වන විවිධ රූකඩ වර්ග සඳහා වෙනස් අමුද්‍රව්‍ය භාවිතාවේ. මේ සඳහා බහුලව යොදා ගැනෙන්නේ ඉවතලන ද්‍රව්‍යයන්ය. එනම් හම් වර්ග, රෙදි වර්ග, ලී කුඩු, ෆයිබර් වර්ග, පිදුරු රිජිෆෝම්, ඇට වර්ග, වියළි කොළ, අතු, පිහාටු, කඩදාසි, ප්ලාස්ටික් වර්ග, සැහැල්ලු ලී, කාඩ්බෝඩ්, රෙදි වර්ග වැනි ද්‍රව්‍යයන්ය.

1870 වර්ශයේදී ලංකාවට පැමිණි එඩින්බරෝ ආධිපාදයා ඉදිරියේ බගතලේ වලව්වේදී ඇහැලේපොළ නිළමේ නාඩගම රූකඩ සංදර්ශනයක් මගින් පෙන්වීමට කටයුතු කර ඇත්තේද පොඩිසිරිනා ගුරුන්නාන්සේ විසිනි. එයින් තුටු වූ රාජ කුමාරයා රන් පදක්කමක් හා මුදලින් රුපියන් 500ක මුදලක් ප්‍රදානය කර ඇත. එකල රුපියල් පන්සියයක් යනු අති විශාල මුදල් සම්භාරයකි. මෙසේ ලැබුණු සමාජ ඇගයීමෙන් පසු පොඩිසිරිනා ගුරුන්නාසේ ප්‍රමුඛව ලංකාව පුරා නූල් රූකඩ සංදර්ශන පවත්වන්නට කටයුතු කර තිබේ.

පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ සමකාලීනයන් වූ අම්බලන්ගොඩ කන්දේගොඩ බබානිස් ගුරුන්නාන්සේ, අම්බලන්ගොඩ බෝගහවත්තේ සුරතන් ගුරුන්නාන්සේ හා අම්බලන්ගොඩ රන්දොඹේ බාප්පු ගුරුන්නාන්සේ හඳුන්වා දිය හැකිය. පොඩිසිරිනා ගුරුන්නාන්සේගෙන් පසුව ඔහුගේ පුතුන් වන ගම්වාරී ඩැනියෙල් හා ගම්වාරී ජේමින් යන දෙදෙනාද සුරතන් ගුරුන්නාන්සේගේ පුත් ගම්වාරී ලව්නේරිස් ද චාල්ස් සිල්වා ගුණසිංහ, අහුන්ගල්ලේ කඳලපිටියේ පොඩිනේරිස් ගුරුන්නාන්සේ, අහුන්ගල්ලේ කඳන්පිටියේ ගිරෙන්නා විදුන ගුරුන්නාන්සේ, අම්බලන්ගොඩ බෝගහවත්තේ සිච්චා ගුරුන්නාන්සේ, වැලිතර සන්දෝරින් ගුරුන්නාන්සේ, අම්බලන්ගොඩ කැපුඇල කන්දේ සිනෙච්චි ගුරුන්නාන්සේ යන අයද අතිදක්‍ෂ රූකඩ ශිල්පීන් ලෙසින් පුරුදු පුහුණුව රූකඩ කලාව රැකගෙන සිටියෝය.

වත්මන මෙම පරපුරෙන් පැවතෙන්නා වූ අම්බලන්ගොඩ රූකඩ කලාව කරගෙන යති. ගම්වාරී ඩැනියෙල්ගේ පුත් මාටින් සේපාල මහතා “සීගිරි” නමින් රූකඩ කණ්ඩායමක් පවත්වාගෙන පැමිණියේය. ගම්වාරී ලව්නේරිස්ගේ පුත් නලීන් ගම්වාරී මහතා “අනුර රූකඩ” නමින්ද ගම්වාරී ජේමිස්ගේ පුත් ගම්වාරී ප්‍රේමීන් මහතා “ගාමිණී” නමින් රූකඩ කණ්ඩායමක්ද පවත්වාගෙන යයි.

මෙම රූකඩ නිර්මාණය කිරීමේ දී ඒ සඳහා යොදා ගෙන ඇත්තේ “කඳුරු” නැමැති දැව වර්ගයයි. අම්බලන්ගොඩ, බොගහවත්ත, වතුගෙදර, බලපිටිය, කඳනපිටිය, කන්දේගොඩ, හා කොස්ගොඩ, රූකඩ ශිල්පීන්ගේ නිජබිම ලෙස සඳහන්වේ.

රූකඩ ඉදිරිපත් කරන රංග භූමිය සඳහා උසින් යුක්තව සාදන ලද වේදිකාවක් යොදා ගනී. වේදිකාවේ දෙපැත්තෙන් සාදා ඇති අංශ 2 ක් හා මැදින් ගබඩාවකින් ද යුක්ත වේ. දෙපැත්තෙහි ඇති අංශ 2 ක සාදනු ලබන්නේ මැද ගබඩාව දෙසට කෝණයක් ආකාරයට සිටින පරිදි ප්‍රේක්‍ෂකාගාරය වෙතට මඳක් හරවා ය. මෙම වේදිකාවේ ඇති පත්තිරිප්පුව නමින් හඳුන්වන මැද කොටසෙහි නාට්‍ය ආරම්භ වූ විට රජු සිංහාසනාරූඪව අමාත්‍යයන් කැඳවා රාජ සභාව පවත්වන ස්ථානය ලෙසින් හඳුන්වා තිබේ. රංග භූමියෙ ඇති මෙම ස්ථාන තුනෙහිම පිටිපසට වන්නට කළු පාටින් තිරරෙදි එල්ලා තිබේ. රංග භූමියේ උස ප‍්‍රමාණය අඩි 4 කට අධික නොවන පරිදි සාදනු ලැබේ. වේදිකාවට පිටුපසින් අඩි 06 ක් පමණ උසින් සිටින සේ අර්ධ කවාකාර වැටක් සාදා තිබේ. මෙම වැටටත් පිටුපසින් වේදිකාවේ උස ප‍්‍රමාණයට වඩා අඩියක් උසින් අර්ධ කවාකාර පඩියක් සාදා තිබේ.මෙම රංග භූමියෙ ඇති විශේෂත්වය නම් මෙහි ඇති කොටස් 3 හිම රූකඩ නැටවීමයි. එනම් එක් කොටසක් සූූදානම් කරන තුරු අනෙක් කොටසෙහි රූකඩ නටවයි. එසේම රූකඩකරුවන් පඩිය මත සිටගෙන වැටට හේත්තු වී ගායනා කරමින් රූකඩ නටවයි.

අතීතයේදී අපේ රටේ රූකඩ සංදර්ශන පවත්වන ලද්දේ රාත්‍රී කාලයේදීය. ඒ සඳහා තෝරාගෙන තිබුණේ එළිමහන් ස්ථානයන්ය. ආලෝකය ලබා ගැනීම සිදුකර ඇත්තේ කුරුම්බා කෝම්බවල පන්දම් දැල්වීමෙනි. නමුත් ඉන්පසුව ක‍්‍රමයෙන් පන්දම්, පහන් වැට, තෙල් ලාම්පු, පෙට්‍රෝමැක්ස් ලාම්පු, ගෑස් ලාම්පු ආදී වශයෙන් පරිවර්තනය වෙමින් 20 වන සියවස පමණ වනවිට විදුලි ආලෝකය ලබා ගැනීම සිදුවිය. එපමණක් නොව මෙම කාලයේදී රූකඩ සංදර්ශන සඳහා වේදිකා 2 ක් භාවිතා කළ අතර ඒවා පහළ වේදිකාව හා ඉහළ වේදිකාව ලෙස හැඳින්විය. පහල වේදිකාවට පිටුපස ඉහලින් මෙම ඉහල වේදිකාව සිටින සේ සකස් කර තිබිණ. මෙයින් පහළ වේදිකාව මහජනයාට සමීප නිසා රූකඩ රඟ දැක්වීම සිදුවන අතර ඉහළ වේදිකාවේ රූකඩ නටවන ශිල්පීන් සිටී. රූකඩ සංදර්ශනයක සාමාන්‍ය කාලය වන්නේ පැය 02 - 2 1/2 අතර කාලයකි.

රූකඩ සඳහා වර්ණ යොදා ගන්නා ආකාරය රූකඩ සඳහා වර්ණ යොදා ගන්නේ එම චරිතයේ ඇති ශක්තිය විදහා පෙන්වීම සඳහාය. එය මනාව ඉස්මතු වන්නේ ලැබෙන ආලෝකය මගිනි. රූකඩ සඳහා යොදා ගන්නා වර්ණ වන්නේ මේවාය.

මූලික වර්ණ - නිල්, කහ, රතු ය.

ද්විතියික වර්ණ - නිල්, කහ / කොළ, කහ, රතු / තැඹිලි නිල්, රතු /දම්.

ඉහත සඳහන් වර්ණ යෙදීමෙන් නොයෙක් චරිතවල ස්වභාවයන් ආරක්‍ෂා කර ගැනීමට රූකඩ ශිල්පීන් සමත් වී සිටී. රූකඩ සඳහා වර්ණ යොදා ගන්නේ මෙසේය.

සුදු - අහිංසක බව, නිරහංකාරකම, විනීත බව, සදාචාර ගති.

කළු - ගෞරවය, උදාරත්වය, අහංකාර බව.

නිල් - සුහද බව, සත්‍යවාදී බව.

කොළ - ධෛර්යය, සෘජු බව.

කහ - සැකය, අවිස්වාසය.

රතු - ආඩම්බර බව, ක්‍රෝධය සහ කපටි බව.

තැඹිලි - ප‍්‍රබල බව, ප‍්‍රනීත බව.

දම් - බලය, ශක්තිය, ඥාණවන්තකම.

රූකඩ නැටුම් ඉදිරිපත් කරන්නා වූ අනුපිළිවෙළ නාඩගම් වල ඇතුළත් විවිධ අංගයන් රූකඩ සංදර්ශන සඳහා යොදා ගෙන තිබේ. එයට හේතුව නම් රූකඩ නැටුම් සඳහා නාඩගම් වල ආභාෂය ලැබීමයි.

නිත්‍ය රංගනය - මුල් ජවනිකා 3, 4 මෙයට වෙන්වේ. මෙය ඒ දිනය තුළ රඟ දැක්වීමට තිබෙන කතාවට සම්බන්ධතාවයක් නොමැත.

පණිවිඩ කෝලම - රූකඩ නැටුමේ ආරම්භක කාලය නොහොත් ‘සැන්දෑ සමයම’ ලෙස නම් කෙරේ.

විදානේ රූකඩය වේදිකාවට පැමිණීම - නරඹන්නා නිශ්ශබ්ද කිරීමද එදිනට නියමිත කතාව විස්තර කිරීමද සිසුකරයි. මෙම විස්තර කිරීම “ඉන්නිසය” ලෙස හඳුන්වයි.

නිත්‍ය රූකඩ ජවනිකා - 1. නළගන රූකඩය වේදිකාවට පැමිණීම. 2. බහුබූත රූකඩය වේදිකාවට පැමිණීම. (මේ සඳහා පහත රට මද්දල තාලය යොදා ගැනේ)


තිරික්කල වෙරිකාරයාගේ හාස්‍ය ජවනිකා රූකඩය වේදිකාවට ගෙන ඒම. (මෙය හාස්‍ය රංගනයකි)

 
 
ශාන්ති කර්මවල දහඅට සන්නියේ අංග ඉදිරිපත් කිරීම. (කළු යකා, රිරීයකා, විලක්කු සමයම, මහසෝන් සමයම ආදී අංග තොවිලයක් ආකාරයට ඉදිරිපත් කිරීමයි, මෙයින් බලාපොරොත්තු වන්නේ ප්‍රේක්‍ෂකයන් විනෝදයට පත් කිරීමයි.
 
ඒ දවසට අයත් කථා පුවත රඟ දැක්වීමට ආරම්භ කිරීම.
 
 
 
 
ශ‍්‍රී ලංකාවේ ඉදිරිපත් කළ ප‍්‍රථම සිංහල රූකඩ නාට්‍යය වන්නේ මහදැනමුත්තා හා ගෝල පිරිස රූකඩ නාට්‍යයි. මෙය පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ ප‍්‍රමුඛත්වයෙන් ඉදිරිපත් කෙරිණි. නමුත් මෙයට පෙර රඟ දැක්වූ මුල්ම රූකඩ නාට්‍ය වන්නේ සුරුවම් මගින් පෙන්වූ පාස්කු නාට්‍යයි. ජාතක කතා නිරූපනය වූ රූකඩ නාට්‍යයන්  වෙස්සන්තර, දේවධර්ම ජාතකය, මනිචෝර ජාතකය, සඳකිඳුරු, චුල්ල පදුම ආදී ජාතක කතා උපයෝගී කර ගනිමින් රූකඩ නාට්‍ය රඟ දැක්වීය. මීට අමතරව ඇහැලේපොළ, අජාසත්ත, දිට්ඨ මංගලිකා, සාලිය-අශෝකමාලා වැනි චරිත උපයෝගී කරගනිමින් නාට්‍ය නිර්මාණය කර රඟ දැක්වීය.

රූකඩ නැටවීමද ඉතා භාරදූර කර්තව්‍යයකි. කිලෝ ගණනක් බර රූකඩ ඔසවාගෙන සිටීමත් නිවැරදි අයුරින් නූල් ඇදීමත් පරෙස්සමින් කල යුතු කාර්යයකි. පිටුපස වේදිකාවට නැගුණු ශිල්පීන් ඒ මේ අත ඇවිදිමින් රූකඩ වේදිකාවේ ඇවිද්දවන්නේ අපූරු ආකාරයෙනි. රූකඩය නටවන ශිල්පියාට එයට අමතර තවත් කාර්යයක් සිදුකිරීමට තිබේ. එනම් රූකඩයට හඬ කැවීමයි. රූකඩ නටවන ශිල්පියා රූකඩය හඬ කවන්නේ යාබද ශිල්පියා හා ඇති මනා සබඳතාවයකිනි. වරෙක එය නාට්‍යය තුල නොව සැබැවින්ම පණ පෙවීමක් ලෙසින්ම තාත්වික අයුරින් සිදු කරන්නේ ශිල්පීන් දෙදෙනා ඇත්ත වශයෙන්ම වේදිකාම මත හිඳින්නාසේය. තිරය පිටුපස ඉහල වේදිකාවේ රූකඩ නටවන්නනන් මෙන්ම තිරය ඉහල පහල ගෙනියන ශිප්ලියෙකුද වේ. මීට අමතරව සංගීත කණ්ඩායම, ගීත ගායනා කණ්ඩායම අපූරු සහයෝගයක් ලබා දෙන්නනෝය. මේ සියල්ල අවසානයේ ප්‍රථිඵල විඳින්නේ ‍ප්‍රේක්‍ෂකාගාරයේ අසුන් ගෙන සිටින ප්‍රේක්‍ෂකයන්ය. 



සම්පූර්ණ ඡායාරූප ඇල්බමය

නවපරපුරෙන් ගිලිහෙන රූකඩ කලාව තවදුරටත් රැකගැනීම සඳහා අම්බලන්ගොඩ රූකඩ ශිල්පීන් දැන් දැන් මහත් වෙහෙසක් දරමින් සිටිනවා. ඒ මේ කලාව ලෝකයෙන් තුරන් වෙමින් යන නිසාවෙන්. රූපවාහිණිය. පරිඝණකය නිසාවෙන් තරුණ පරපුර මින් ඈත්වී ඇතත් රූකඩ ශිල්පීන්ගේ පරම්පාරාව තුල යන්තමින් කලාව රැකගෙන තියෙනවා. කෙසේ හෝ වේවා මේ කලාව රැකගැනීම හා ඒ වෙනුවෙන් කාලයක් වැය කරන්න තරුණ පරපුර විදිහට කාටත් පුළුවන්. ඒ අරමුණ පෙරදැරිව ගාමිණී රූකඩ ශිල්පීන් අම්බලන්ගොඩ නගර ශාලාවේ කල වෙස්සන්තර ජාතකය රඟ දැක්වූ රූකඩ සංදර්ශනයක ඡායාරූප මා මෙහි භාවිතා කල අතර ඒ වැඩසටහනේ සියලු ඡායාරූප බලන්න ඉහලින් තියෙන ලින්කුවට ගියා නම් පුළුවන්. 

6 comments:

  1. බොහොම වටිනා දුර්ලභ ලිපියක්

    ReplyDelete
  2. ලංකාවේ රූකඩ කලාව රැකගන්න නම් අම්බලන්ගොඩ රූකඩ කළා කෞතුකාගරයන් විතරක් හදලා ඒවායේ රූකඩ වෙස්මුහුනු ගොඩ ගහලා විතරක් මදි. අපේ රටට එන විදේශිකයින්ට තේරෙන විදිහට ඉංග‍්‍රීසියෙන් හඩකවලා කෙටි රූකඩ නාට්‍ය පෙන්වන්න ඔ්නේ. එතකොටවත් අපේ රටට යම් අදායමක් ගන්නත් මේ පාරම්පරික කළා කරුවන්ගේ දරුපරපුරත් මේවා රැකගෙන ඉදිරියට ගෙනියන්නත් උත්සාහ ගනියි. කාලයේ හැටියට වෙනස්වුනේ නැත්නම් මේ පාරම්පරික කළාවන් නුදුරු අනාගතයේදි කෞතුකාගරයන් වල විතරක් ඉතිරිවේවි.

    ReplyDelete
    Replies
    1. වෙස්මුහුණු කෞතුකාගාර හෝ රූකඩ කෞතුකාගාර නම් නෑ. වෙස්මුහුණු තිබෙන්නේ විකුණනන්න. ප්‍රධාන වශයෙන් වෙස්මුහුණු විකුණන ආයතන කීපයක් තියෙනවා. රූකඩ නම් තවම ශිල්පීන් ඉන්නවා. තරුණයෝ ඉන්නවා ඒ ඒ පරම්පරාවල අය. අතීතයේ සුද්දන්ට නේවන්න ඉංග්‍රීසි හඬකැව්වේ නෑ. අදටත් සමහර මඟ පෙන්වන්නන් සුද්දන්ට යෝජනා කරනවා රූකඩ ගැන. සමහර හෝටල් වලට ඒ සඳහා යන අවස්ා තියෙනවා. නමුත් ඒ යෝජනාව කිරීම කරනවද නැද්ද තීරණය වෙන්නේ මඟපෙන්වන්නා මත.
      ඉංග්‍රීසි යෙන් පෙන්වීමෙන් විතරක් මේ දේ කරන්න අමාරුයි. ලංකාවේ කිසි මිනිහෙත් සංස්කෘතිය රකින්න හෝ අපේ පාරම්පරික දේවල් රැකගන්න හෝ වුනත් තමන්ට ලාභයක් නැතිව අනෙකෙකුට මුදලක් උපයන්න ක්‍රමයක් හදන්න අකමැතියි. ගොඩක් මඟ පෙන්වන්නන් බලන්නේ සුද්දාගෙන් පුළුවන් තරම් තමන් කතාගෙන රටින් යවන්න. එහෙමත් කෙනෙක් තමයි තමනුත් රැකිල තිවෙකෙකුට උපයන්නත් ඉතිරි කරන්නේ. ඉතින් කොහොමද මේවා රකින්නේ

      Delete
  3. අනර්ඝ බ්ලොග් අඩවියක්... ඉතා වටිනා ලිපියක්... බොහොම ස්තූතියි....

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!