මගේ ගමන් බිමන් සියවැනි කොටස - කලුපහණ ඉඳන් යකාගේ පඩිපෙල දිගේ ඔහියට

මගේ ගමන් බිමන් එක්ක සියවෙනි කොටසටත් ආව. සියවෙනි කොට අපූරුම අපූරු චාරිකාවක විස්තරයක් තමයි ලියැවෙන්නේ. අවුරුදු ගානක් සැලසුම පමණක් වෙලා තිබ්බ ගමනක් තමා මේ ගියපු යකාගේ පඩිපෙළ එහෙමත් නැතිනම් Devil's Staircase කියන්නේ. 
යකාගේ පඩිපෙල කියන නම ගමන් බිමන් යන්න ආසාවක් තියෙන ඕනම කෙනෙක් අහල ඇති. ඒ විතරක් නෙවෙයි හීනයක් වගේ ඒ ගමන යන ආසාවත් ඇති. ඇවිදින කෙනෙක් නම් ජීවිතේ එක පාරක් හරි යා යුතුම ගමනක් තමයි මේ යකාගේ පඩිපෙල කියන්නේ. බොහෝමයක් දෙනා හිතන්නේ මේක පඩිපෙලක් කියලයි. හරියට ශ්‍රීපාදය නගිනවා වගේ ඇති කියලයි. ඇත්තටම මේක දුෂ්කර පාරක්. තේ දලු ලොරි හා බයිසිකල් තමා වැඩියෙන්ම යන්නේ. කලාතුරකින් ත්‍රී රෝද රථ ගියත් පාර නම් අන්තෙටම සවුත්තුයි. 
අපේ ගමන පටන් ගන්නේ යකාගේ පඩිපෙල පහල ඉඳන් ඉහලට යන්න. ඒ ගමනේ තමා අමාරුකම දැනෙන්නේ. ගොඩක් දෙනා රෑ කෝච්චියේ ඔහියට ඇවිත් එතැනින් පයින් පහලට එන්න පටන් ගන්නවා. බයිසිකල් දෙකකින් අපි ගමන පටන් ගත්තේ ගෙදරින් පාන්දර 2.30ට. පටන් ගනිද්දී වැස්සක් ආවත් අපේ ගමනට බාධා කරන්න තරම් ප්‍රමාණවත් ශක්තියක් වැස්සට තිබුනේ නෑ. එනගමන් බෙලිහුල් ඔය සුරතලී ඇල්ලත් බලාගෙන අපි කලුපහණට එද්දී උදේ 7 - 8 අතර ඇති. රියදුරු දෑතට දෙවි පිහිටයි කියල අපේ ගමන පටන් ගත්තේ කලුපහණ ඔහිය මාර්ගයේ ඉහලට එන්නයි. කොළඹ බදුල්ල පාරේ කිලෝමීටර 173ක් ආවට පස්සේ අතරු මාර්ගයකින් තමා මේ කියන යකාගේ පඩිපෙළ ගමන ආරම්භ වෙන්නේ. එතැනින් ‍කිලෝමීටර 5ක් විතර යද්දී හමුවෙන බඹරකන්ද දිය ඇල්ලත්, ලංකා ඇල්ලත් බලන්න වෙලාව තියාගන්න අමතක කලේ නෑ. ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹර කන්ද දිය ඇල්ල නම් ගමන් මාර්ගයට පේන දුරක තියෙන්නේ. ලංකා ඇල්ල හා බඹරකන්ද දිය ඇලි ගැන වෙනම ලිපියක් එක්ක කතාවෙන නිසා දිය ඇල්ල ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. ආයෙමත් යකාගේ පඩිපෙල මාර්ගයට ආව අපි නැවත ඉහලට යන්න පටන් ගත්තා. දැන් දැන් නම් ටිකක් දුර කොන්ක්‍රීට් කරල වගේම සමහර තැනක කොන්ක්‍රීට් ගල් අතුරලා තිබුනා.




ප්‍රසිද්ධ V - Cut කියන ගල් දෙබොක්කක් අතරින් වැටුනු හරියට එද්දී නම් පාර හදන්න අතරපු කලුගල් තිබුන නිසා පාර ටිකක් අවධානම් වුනා. විටෙක මීදුමෙන් වැහෙන්නේ දෙසැම්බර් සීතලත් මතක් කරගෙනමයි. හැබැයි ඉතින් මිනිත්තුවක් යද්දී පාර නොපෙනෙන්න තරම් ආව මීදුම හොයන්නවත් නැති තරමින් පැහැදිලි වෙන්නේ මාර්ගයේ අවිනිශ්චිත බව මතක් කර දෙන්න වගේ. මේ ගමනේ තියෙන අමාරුකම පටන්ගන්නේ ගමන අවසානය කිට්ටුවෙද්දී. මේ කන්දෙන් අනිත් කන්දටත් ඒකෙත් තවෙකකටත් යන්න තියෙන්නේ තේ වතු අතරින් නිසා සමහර තැනක වැඩ කරන අය දකින්න පුළුවන්. අවසානය ලඟ වෙන්නේ උඩවේරිය වත්තේ ඉහල කොටසින්. එතැන පාර දෙකකට බෙදෙනවා. එකක් ටිකක් විතර දුර පාරක්. ඒක ලස්සනයි කියලත් කියනවා. ඒක තමා සාමාන්‍යයෙන් එන අය තෝරගන්න පාර. නමුත් අපි කෙටි පාර තෝරගත්තා. පාරවල් දෙකම වැටෙන්නේ ඔහිය ඉඳන් හෝර්ටන් තැන්නට යන පාරේ වුනත් අපි තොරගත්තු කෙටි පාර හෝර්ටන් තැන්නේ ආරම්භක සීමාවට වඩා ලඟ තැනක්.




යාන්තම් පැය ගානක් බයිසිකලේ අල්ලන් ඇවිත් තියෙන අමාරුව දැනෙන්නේ ප්‍රධාන පාරට ආවම තමයි. ටිකක් වෙලා යනකම් ඇඟිලි නවන්න දිහඅරින්න ටිකක් බෑ බෑ වගේ දැනෙන්නේ දිගටම ක්ලච් එකයි බ්රේක් එකයි මිරික මිරික ආපු නිසා වෙන් ඕන. කොහොම වුනත් යකාගේ පඩිපෙල කියන්නේත් යකාගේ ගමනක් තමයි. ආයෙම දවසක යකාගේ පඩිපෙල උඩ ඉඳන් පහලටත් යන්න හිතාගෙන අපේ නවාතැන උන නුවර එළියට යන්න පිටත්වුනා.
 පින්තූර ඇල්බමයට....

මේ ගමන යන ඔයාලට කලුකොපුල් කටුස්සා වගේම විවිධ කටුස්සෝ, විවිධ කුරුල්ලෝ බලන්න පුළුවන්. වැඩේ කියන්නේ මේ කිසිවක් බයිසිකලේක ගිහින් ඡායාරූප ගන්න නම් ලේසි වෙන්නේනෑ. මොකද බයිසිකලේ සද්දෙට උන් පලාතෙ ඉන්නේ නැති නිසා. කටවත් කරදරයක් නැතිව, ගමේ මිනිස්සුනටත් කරදර නැතිව, අපද්‍රව්‍ය කිසිවක් මේ පාරේ හලන්නේ නැතිව ලස්සනට යන්න පුළුවන් අපූරු ගමනක්. ජීවිතේ එක පාරක්වත් ගිහින් බලන්න.

4 comments:

  1. හ්ම්..........හමුදා පුහුණු කටයුතු සඳහා ඔය පාරේ ගිහින් තියනවා. මර හීතලේ ගැහි ගැහි. පාන්දර 2.30 ට යද්දී, ඌරෝ, ගෝන්නු, වගේම කලාතුරකින් දිවියෙක් දකින්නත් ඉඩ තියනවා.

    ReplyDelete
  2. ලගදිම යන්න හිතාගෙන ඉන්නවා.පයින් යන්න කොච්චර වෙලාවක් යයිද?

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ගියොත් නම් වරුවක් යයි. හැබැයි ඉතින් මඟ තියෙන ඒවා බලමින් ගියොත් නම් දවසම ඉඩ තියන් යන එක ‍හොඳයි. කිලෝමීටර 20ක් විතර තියෙනවා

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!