මගේ ගමන් බිමන් අනූ පස්වැනි කොටස - කබ්බලේ කන්ද_කන්නෙලිය රක්‍ෂිතය

කාලයකට කලින් මගේ ගමන් බිමන් වලින් කන්නෙලිය රක්‍ෂිතය පැත්තේ ගියා මතක ඇතිනේ. අමතක අය මෙතැනින් ගිහින් බලන්න.... 1934දී රක්‍ෂිතයක් විදිහට නම් කල කන්නෙලිය රක්‍ෂිතය කලෙක සිංහරාජ වනාන්තර හා සම්බන්ධ වෙලා තිබුනාය කියලයි කියන්නේ. කන්නෙලායට යන මාර්ගය ගැන විස්තරය කලින් ලිපියේ තියෙන නිසා එතැන ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කන්නෙලියට ඇතුලු වුනාම විවිධ මංපෙත් ඔස්සේ යන්න පුළුවන්. ලඟම ලේසිම පාර වෙන්නේ අනගිමල ඇල්ල, ගුහාව හා යෝධ පුස්වැල මාර්ගයයි. යෝධ නවඳගස මාර්ගය තවත් එක් පැත්තකට දිව යනවා. නාරංගස් ඇල්ල මංපෙතේ යන්නේ අනගිමල ඇල්ල යෝධ පුස්වැල හා ගුහාව යන තුනම පහුකරගෙන නිසා ඒ ගමනේදි මේ සියල්ලත් බලන්න පුළුවන්. ඊලඟ මාර්ගය තමයි කබ්බලේ කන්ද මංපෙත කියන්නේ. එය තමයි දුෂ්කර මාර්ගය වෙන්නේ. කන්ද නගින එක ලේසි ගමනක් නොවන නිසාත් කැලෑව මැදින් දුශ්කර මාර්ගයක් තියෙන නිසාත් යන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. කාලයක් ති‍ස්සේ සැලසුම් කරල අවසානයේ අපිත් මේ ගමන යන්න තීරණය කලා.
අපි ගමන ආරම්භ කරන්න කලින්ම අපිට හමුවුන අමුත්තා තමයි බට ඇටිකුකුලා කියන කුරුල්ලා... {ශ්‍රී ලංකා බට ඇටි කුකුලා (වල් ඇටි කුකුලා) Green billed coucal(Centropus chlororhynchos)} මෙයා රතු දත්ත පොතේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලෙක්. අපි යද්දී මෙයා කූඩුවකත් හදමින් තමයි හිටියේ. ගස් අතර කූඩුව හදන නිසා ඡායාරූපයක් ගන්න ලේසි වුනේ නෑ...
ඊලඟට අපිට හමුවුනේ කවදත් කන්නෙලියේදී හමුවෙන සතෙක්. ඒ තමයි ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා. මෙයත් ලංකා‍වට ආවේණික සත්ත්ව විශේෂයක්.... {ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා Sri Lankan Kangaroo Lizard (Otocryptis wiegmanni)} එතැනින් ඉදිරියට ඇදුනු අපි ක්‍රමයෙන් වනාන්තරය ඇතුලට යන්න වුනා. සීග්‍ර කන්දක් තිබුන නිසාත් අපි ඡායාරූප ගනිමින් ගිය නිසාත් අපේ ගමන සිද්ධ වුනේ ගොඩක් හෙමින්. විවිධාකාරයේ සතුන් බලාගෙන කබ්බලේ කන්දේ පලවෙනි බෑවුමට එද්දී නම් දවල් වෙලා තිබුනා. එතැනින් දෙවැනි බෑවුම ‍එහෙමත් නැතිනම් මහ කබ්බලේට ඇවිත් ගිමන් නිවන තුරුම අපි වේගයෙන් ඇවිදින්න වුනා. කන්නෙලියට පායන කාලයක් නිසා කුඩා දිය ඇලි සියල්ලම වගේ හිඳිලයි තිබුනේ. කලින් ගිය අය දාල තිබුන ප්ලාස්ටික් හා පොලිතින් ආදියත් එකතු කරගෙන අපි ආයෙත් කන්ද බහින්න සූදානම් වෙද්දීම අපිට ඉදිරියෙන් ගසක ඇහැටුල්ලා පැටියෙක් ඇදෙන්න වුනා.. එයාගෙත් ඡායාරූප අරන් වේගවත් ගමනක් ආවේ ටිකක් හරි කලින් ඇවිත් අනගිමල ඇල්ල ලඟ ගිමන් නිවන්න හිතාගෙනයි.
 
යන එන අතරතුර අපට බාඳුරා ශාක, තාපස්සර බුලත්, කටු කිතුල් ශාක වගේ ශාක වර්ග දකින්න ලැබුනා. ඒවයේ විශේෂත්ව ආදිය අපේ මඟ පෙන්වන්නා කියාගෙන යද්දී ඒවා අහගෙන හිටි අපට ගමන් විඩාව අමතක වෙන විදිහේ දැනුමක් ලැබුනා. කටුස්සන්ගේ බිත්තර පුපුරන සමය නිසා කටුසු පැටවුන් විශිල ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනත් වැඩිහිටි අය නම් දකින්න ලැබුනේ අඩුවෙන්. කැන්ගරු කටුස්සා සහ අංකටුස්සාගේ පැටවුන් දෙ‍දෙනා සාමාන්‍යයෙන් එකම වාගේ නිසා හඳුනාගැනීම අපහසු වුනත් මගේ වාසනාවට වගේ දෙදෙනාගේම පැටවුන්ගේ ඡායාරූප ලබා ගන්න පුළුවන් වුනා. ලංකාවට ආවේණික තවත් සර්ප විශේෂයක් වුන වයිරි හාල්දණ්ඩෙක් {වයිරි හාල් දණ්ඩා Gunther's Bronze-Back (Dendrelaphis caudolineolatus)}අත්තක් උඩ හිටියේ අපිට ඡායාරූප ගන්න කියන්නම වාගෙයි. විවිධ කෘමි විශේෂත් ගෙම්බන් කීපයකුත් ඡායාරෑප අරන් අපි අනගිමල ඇල්ල ලඟට එද්දීත් හවස පහුවෙලා තිබුනා.  
 
 
 
 
 
ඔයාලත් යන්න විවිධ දේ හමුවෙයි. සුන්දරත්වය විඳින්න. විනාස නොකර ආයෙත් එන්න. මම ගත්තු ඡායාරූප ටික වෙනම තැනක දාපු ලින්කුවට මෙතැනින් යන්න. ආයෙත් ගමනකින් හමුවන තුරු හැමෝටම ආයුබෝවන්...

මගේ ගමන් බිමන් අනූ හතරවැනි කොටස - මූනංගල ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ අප්‍රකට දියඇලි රැසක් තියෙන දිස්ත්‍රික්කයක්. මැණික් වලට සුප්‍රසිද්ධ වුනත් සොභාව සෞන්දර්ය අතින් අගතැන්පත් ප්‍රදේශයක්. මේ කියන්න යන්නේත් රත්නපුර දිස්ත්‍රික්‍කයේ මායිමේ පිහිටන සුන්දර දිය ඇල්ලක් ගැන. ඒ තමයි මූනංගල ඇල්ල. ඇහැලියගොඩ ඉඳන් රත්නපුර පැත්තට කිලෝමීටර 3ක් විතර එද්දී බදුවත්ත හංදිය හමුවෙනවා. එතැනින් හැරිල අමුහේන්කන්ද පාරේ කිලෝමීටර 1.5ක් විතර ගියාම අපට මේ දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
මේ දිය ඇල්ල ලඟ තියෙන කසිප්පු තිප්පොලවල් නිසා යන එන වාහන වුනත් කිසිවෙක් නැතිව දාල යන එක නම් එච්චර නුවනට හුරු නෑ. බයිසිකලයක් ත්‍රී රෝද රථයක් වගේ නම් පහසුවෙන් ඒ කිට්ටුවටම වගේ යන්න පුළුවන්. නැතිනම් ඉතින් 4 වීල් වාහනයක් තමයි.
කොහොම වුනත් අතිශය  සුන්දරත්වයක් තියෙන් මේ මීටර 10ක් විතර උස දිය ඇල්ල පාමුලටම යාමෙ ්හැකියාව නම් තියෙනවා. කැලේ මැදින් තියෙන නිසා මිනිසුන්ගේ ශබ්ද ඇහෙන්නේ නෑ. ඒ නිසාම ස්වභාවිකත්වය උපරි‍මයෙන් විඳින්න පුළුවන් තැනක්. 

මේ තැන් වලට ගිහින් ඒ තැන් විනාස කරන්නේ නැතිව සුන්දරත්වය රැකලා එන්න.

ඡායාරූප කලාවේ Greatest area of Contrast සංයුතිය යොදාගැනීම

මේ කියන කාරණාව එක ජේදයකින් කියන්න පුළුවන් වුනත් එහි ඇති වටපිටාව සමඟ කතාකාව කලානම් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ නිසා මම මෙන්න මෙහෙම පටන්න ගන්නම්.

ඡායාරූපයක contrast කියන වචනය හැමදාමත් අපට ඇහෙන දෙයක්. ඒත් කාගෙන් හරි ඇහුවොත් ඒ මොකක්ද කියල ඒකට හරි පිලිතුරක් ලැබෙන්නේ කලාතුරකින්.. හැමොම දන්නවා මේක හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් කියන්න නමුත් ඒක කොහොමද කියන්න පුළුවන් අය ටික දෙනයි ඉන්නේ. කන්ට්‍රාස්ට් එක සරලවම කිව්වොත් ඡායාරූපය තුල උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයයි. මේ පරාසය තුල හොඳ වෙනසක් ඇති කරගන්න පුළුවන් නම් හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් ලබාගන්න පුළුවන්. මේ තියෙන හුඟක් වචන කලු සුදු කලාවෙන් ආරම්භ වුන ඒවා නිසා උපරිම කලු හා උපරිම සුදු අතර පරාසය කියලත් තැනෙක සඳහන් වෙන්න පුළුවන්. වර්ණ වලට එද්දී එය වර්ණ පැහැයන් වෙන වෙනම ගත් කල වෙන වෙනම වර්ණ වල උපරිමයන් හා අවමයන් සලකන්න වෙනවා. නමුත් එහිදී අපිට සම්පූර්ණ ඡායාරූපයම Grey-scale එකක් බවට පත් කරගෙන අපේ ඡායාරූපයේ වර්ණ පරාසය එහෙමත් නැතිනම් contrast level එක බලාගන්න පුළුවන්. උදාහරණ විදිහට මම ගත්තු මේ ඡායාරූපයේ වර්ණ පරාසය බලන්න. වර්ණ එක හා කලු සුදු ආකාරයේදී වෙනස බලන්න.
දැන් අපි එමු දෙවැනි කොටසට.ඒ තමයි සංයුතිය එහෙම නැතිනම් Composition කියල දන්න කාරණාවට. අපි අපේ ඡායාරූපයේ සංයුතිය යොදාගන්නේ මිනිස් ඇස හා මිනිස් මොලය තේරුම් ගන්නා ආකාරය සියුම් ලෙස හඳුනගැනීමෙන්. මනෝවිද්‍යාත්මක කුමවේදයක් මගින් මේ සංයුතිය භාවිතා කරන ක්‍රම වල නිරවද්‍යතාව පරික්‍ෂා කරල තියෙනවා. අපි ගොඩක් දෙනා භාවිතා කරන සංයුතිය තමයි ත්‍රිත්වයේ රීතිය (Rule of thirds) කියන්නේ. ප්‍රශ්ණය වෙලා තියෙන්නේ අපි ගොඩක් දෙනා මේ ත්‍රිත්ව රීතිය දේවත්වයෙන් සැලකීම නිසා එය පමණයි රීතිය වගේ අදහසක් ඇවිත් තියෙනවා. නැතිනම් golden ratio, golden triangle, golden spiral වගේ ඒවත් ටික ටික භාවිතා වෙනවා. නමුත් අපි කලාතුරකින්‍ කෙනෙක් භාවිතා කරන සංයුති ක්‍රමයක් තමයි මේ කියන Greatest area of contrast කියන ක්‍රමය. මම කලින් ලිපියක සඳහන් කලා රීති පුරුදු වෙන්න පුසුව බිඳින්න පුළුවන් කියන කාරණාව. නමුත් රීතියක් බිඳීමෙන් පසු පවා ඡායාරූපය ඇති රාමුව තුල ඇති සංයුතිය මනාව පවත්වාගෙන යා යුතු වෙනවා. එහෙම නැතිනම් ඡායාරූපය තුල ප්‍රේක්‍ෂකයා රඳවා ගැනීම අපහසු වෙනවා.  rule of thirds බිඳිනවානම් අපිට භාවිතා කරන්න පුළුවන් සංයුතියක් තවත් තියෙන්න ඕන. මේ එයින් එකක්.

මෙතැනදී අපි කරන්නේ අපේ අරමුණ මතු කිරීම සඳහා ඡායාරූපය තුල ඇති සියලු වර්ණයන්හි ඇති වැඩිම වර්ණ පරාසය ඇති තැන තුලට ප්‍රේක්‍ෂකයාගේ ඇස ගෙන ඒම. අන්න එතැන අලට අරමුණ රඳවන්න පුළුවන්ත එහෙමත් නැතිනම් ක්‍රමයෙන් වර්ණ පරාසයන් තුලින්ම ඇස අරමුණ වෙත ගෙන යන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල දී අප පාලනය කරන්නේ ඡායාරූපයේ වැඩිම කන්ට්‍රාස්ට් එකක් තියෙන තැන නිසා අපි එයට Greatest Area of Contrast (GAC) කියල කියනවා. මෙය පැහැදිලි වෙන අයුරින් මම අන්තර්ජාලයෙන් උකහාගත් ඣායාරූප කීපයක් ඉදිරිපත් කරන්නම්. ඒවායේ සියලු අයිතිය එවායේ කතෘ සතුබව සලකන්න.


මා මෙහි සඳහන් කල පින්තූර වල දෙවැන්නේ රතු පැහැයෙන් සලකුණු කල තැන් හා පැහැ අන්තරයේ ගලායාම අධ්‍යයනය කර බලන්න.

මගේ පින්තූර මතක පිටුවට මෙතැනින්..... https://www.facebook.com/sulakkhanaphotography/

ස්තූතියි....