මා දුටු ලාල් හෑ‍ගොඩ...

අත්දැකීම් ලියන මම කෙනෙකුගේ චරිතාපදානයක් ලියන්නේ කලාතුරකින්. නමුත් මේ අත්දැකීම මම ඔයාලට ලියුවේ නැතිනම් මගේ අත්දැකීම් වල ලොකු හිඩසක් තිබ්බා වගේ වෙනවා. මීට ගොඩක් කලින් ලියන්න හිටි ලිපියක් වුනත් මගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් වුන හෑගොඩ සර්ගෙන් ලැබෙන ඩිප්ලෝමාව අතට ලැබෙනකම් හිටියා. මෙන්න ඒ කතාව.
 
දැන් තිබෙන සමාජය කැමරාවත් අතින් ගත්තු කෙනෙක් ඡායාරූපශිල්පියෙක් වෙන එකක්. එහෙම සමාජයක ඒක වෙනස් කරල ඡායාරූප ශිල්පියා සහ කැමරාකාරයා කියල දෙන්නෙක් වෙන් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමාගේ ඉගැන්වීම් ඔස්සේයි. කලාව පියපුතු ආරයට ඇවිත් ඉගැන්වීමත් ඒ විදිහෙන්ම පිහිටපු අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමා තමයි.

1950දී ශ්‍රී ලංකා ජාතික ඡායාරූපකලා සංගමය ආරම්භ කරන විල්සන් හෑගොඩ ශූරීන් සිංහලෙන් ලංකාව පුරා සිටින්නවුන්ට ඡායාරූපකරණය හදාරන්න මඟ සලසන්න පුරෝගාමී වෙනවා. කැමරා සඟරාව ආරම්භ කරමින් එය රට පුරා ප්‍රචලිත කල එතුමා අගනුවර කවි සමාජය ඇති කිරීමේදීත් පුරෝගාමී වෙලා තියෙනවා.  කවි පොත් ලියා තිබෙනවා. එතුමා ගේ පුත් ලාල් හෑගොඩ ගුරුවරයෙක් වෙන්නේත් ඒ ආභාශයෙන්මයි.

ගරු නම්බුනාම රැසක් නමට යටින් දාන්න තිබුනත් හැමදාම ලාල් හෑගොඩකියල විතරක් පොතක ලියන කවියත් ඡායාරූප ශිල්පයත් දෙකක් නොව එකම මඟක දෙතැනක් කියල දකින නිහතමානී චරිතයක් නම් හෑගොඩ සර් තමයි. සර් කියන සර්ගේ කතාව මම කියන එක ලස්සන නෑ. සර්ගේ තාත්තගෙන් පටන් අරන් සර් පන්ති කරන අද දක්වා කියවෙන ඒ කතාව ආයේ ආයේ අහන්න ඒ දවසට පන්තියේ වාඩිවෙන්න තියේ නම් කියල හිතෙන වාර අනන්තයි. එක්දාස් නවසිය බර ගනන් වල කලුසුදු ඡායාරූපයකින් ආරම්භ වෙලා වර්ණ ලොකෙට විනාඩි කීපයකින් අරන් ආවත් ඒ විනාඩි ගාන අවුරුදු ගානක් එතැන හිටියා වගේම අහන්න හෑගොඩ සර් අපිව පොලඹවන්නේ කලාකාරයෙක් කියන්නේ කවුද කියල උදහරණයක් නොකියාම පෙන්වමින්.
පින්තූරයක් අරන් කොට්ටේ යන තියා ගන්න එපා. ඒක කාට හරි පෙන්වන්න ඕන. කොහේ හරි පල කරන්න. නැතිනම් ඒකෙන් වැඩක් නෑනේ කියන හෑගොඩ සර් ඡායාරූප ශිල්පය හදාරන අතරතුර තවත් කලාවන් හදාරන්න කියල උපදෙස් දීලා දවසේ පාඩමේ අතරතුර වෙනත් කලාවක් වෙනුවෙන් ඉඩහසර වෙන් කරනවා. කවියක්, සිංදුවක්, වේදිකා නාට්‍ය ගීයක්, නූර්තියක් අරන් ඇවිත් ඒක අපිට විඳින්න සලස්වලා අදම අලුතින් අහන්න වගේ විඳිමින් පුටුවට ගුලිවෙන්නේ අපිවත් ඒ රිද්මය තුල සම්පූර්නයෙන් අතරමං කරල ඔහුත් ඒ තුල ගිලෙමින්. පද පෙල අවසන එහි අරුත පදයෙන් පදය පහදන්නේ ඒ තුල වින්දනයේ උපරිව වශයෙන් යෙදෙන ගමන්මයි. විටෙක සිනාවත් විටෙක කඳුලු ඔහුගේ ඇසින් ගලද්දී එය පිසලා සැනින් ඊලඟ පද පෙල අතර ඒ කඳුල සඟවන්නේ කලාවට කල හැකිදේ උපරිම වශයෙන් උදාහරණ පෙන්වමින් විතරක්ම නෙවෙයි කලාකරුවෙකුට කලාව තුල කෙතරම් වින්දනයක් ලබන්න පුළුවන්ද කියලත් පෙන්වමින්.

හැමදේම Auto තියෙන කැමරාවකින් පින්තූරයක් ගන්න එක කජ්ජක්ද අහන ඔහු, කැමරාවේ සෙටින්ග්ස් එකක්වත් නොකියා අපිට කැමරාව පුරුදු කරන්නේ අපි කල යුතු මඟ නිවැරදිව පෙන්වන මාරගෝපදේශකයෙකු වගේ. පුංචි පුංචි ගෙදර වැඩ දෙන ඔහුගේ අභ්‍යාසයන් මුලින් කරද්දී හිතෙන්නේ වැඩුනු අපි මොකට මේක කරවද කියලයි. නමුත් ඒ තුල නිවැරදි ලෙස ගමන් කරද්දී අපි රාත්‍රී අඳුරේ ඉඳන් කෙමෙන් උදෑසන හිරු පායනවා වගේ දැනෙන්නට පටන් ගන්නවා. අවසන් පරීක්‍ෂණයේ ඡායාරූප අරන් ඉවර වෙද්දී ආරම්භයේ සහතික හොයාගෙන ආව අපිට අවසානයේ සහතිකයක් මොකටද කියලත් හිතෙනවා. 

එතැනින් ඩිප්ලෝමාවට අයදුම් කරන්න සුදුසුකම ලැබෙන අපි සර් කියන පින්තූර ගාන දෙන්න ඕන. ඒක තමා අමාරුම ටික දහස් ගානක් පින්තූර ගත්තා වුනත් ඒ පින්තූර ටික ගනිද්දී නම් දැනෙන්නේ කලාකරුවාගේ අභ්‍යන්තරය අතට අරන් පොලිෂ් කරනවා වගේ. ඒකනම් කජ්ජක්ද කියල හිතන අය හිටියත් සර්ගෙන් ඉගෙනගත්තු 10000කට ආසන්න ගානක සිසුන් අතර ඩිප්ලෝමා තියෙන්නේ 17යි (මම තමා 17වැනියා :P) ඒක පුරාජේරුවක් නම් නෙවෙයි ඒ කඩඉම පසුකරන කෙනෙකුගේ හැදෙන කලාව කොයිතරම් සියුම්ව තෝරාගන්නවාද ඔහු කලාකරුවෙක් ලෙස ලෝකයාට හඳුන්වා දෙද්දී ඔහු කෙතරම් පරෙස්සම් සහගතව ඔහු කලාකරුවෙක් ලෙස නිමවනවාද යන්නෙහි මිනුම් දන්ඩ එය කියලයි මම නම් හිතන්නේ. අමාරු පරීක්‍ෂණ අවසානයේ බිහිවෙන කලාකරුවා තුල නියමාකාර කලාකරුවකු තුල තිබිය යුතු සියලු දේ අන්තර්ගත කරන්න ඔහු මාස ගනන් අවුරුදු ගනන් ගත කරන ඩිප්ලෝමා අපේක්‍ෂකයා විවිධාකාර පරීක්‍ෂණ වලට භාජනය කරනවා. එය තේරෙන්නේ අවසන ජය ගත්තෙකුට විතරමයි කියලයි මට හිතෙන්නේ. 

රොබෝවෙක්, හදවතක් මනසක් ඇත්තෙකු කරන්න ක්‍රමානුකූල ඉගැන්වීම තුලින් මහත් වෙහෙසක් දරන ලාල් හෑගෙඩ ගුරු පියාණන් ඔහු නැතත් කලාව රකින්නට පොත් පත් ගනනාවක් ලියල තියෙනවා වුනත් ඔහු කරන ඉගැන්වීමේ අපූර්වත්වය විඳින්න නම් එතැන ඉන්නම ඕන. අපි ගන්න පින්තූරයක් ගුණ අගුණ කෙලින්ම කියල ඒක හදාගන්න හැටි කියාදෙන ගමන්ම ඒ පින්තූරයේ පසුබිම් කතාවත් අහන්න අමතක කරන්නේ නෑ. ඒ මගින් පින්තූරය ගන්න තව මංපෙත් කියාදෙනවා. පින්තූරය එතැනින්න නොනවත්වා එය කලාත්මක කරන්න මඟ පෙන්වන්න පටන් ගන්නේ ඊටත් පස්සේ. කෙ‍නා ගැන නොවී පින්තූරය ගැන කතා කරන සර් හිටිගමන් සමහර පින්තූර දිහා විනාඩි ගනන් බලන් ඉන්නේ එය විඳින ගමන්ම ඒ තුලින් නිර්මාණ කරුවාගේ වපසරිය මැනෙවින් හඳුනගන්න පුළුවන් නිසා වෙන්න ඇති කියලත් මට හිතෙනවා. 

මගේ ගුරුතුමාව මම දැක්කේ එහෙමයි..

මගේ ගමන් බිමන් අනූ හයවැනි කොටස - කටුගස් ඇල්ල_රත්නපුර

මිණිපුරය නැත්තම් රත්නපුරයට කීප වරක් ගිහින් තිබුනත් රත්නපුරයේ තියෙන දිය ඇලි බලල ඉවර කරන්න වුනේ නැහැ. මේ ගමන ගියේ එවැනි දිය ඇලි කීපයක් බලන්න හිතාගෙන. රත්නපුර ඉඳන් වෙරලුප හංදියෙන් හැරිල කිලෝමීටර 2.5 විතර යන්න ඕන. එතැන තියෙන පොඩි පාලම ගාවින් යන වාහන නම් නවත්තන්න වෙනවා. එතැන ඉඳන් මීටර 100ක් විතර ගුරු පාරක් දිගේ ඇතුලට යන්න ඕන. ගමේ කාගෙන් ඇහුවත් පාර දැනගන්න පුළුවන්.  කටුගස් දොලෙන් ඇතිවෙන මේ අපූරු දිය ඇල්ල පෝෂණය කරන්නේ ශ්‍රී පාද අඩවියේ ජල පෝෂක උල්පත් වලින්.
දිය ඇල්ල ලඟට යන එක නම් ලේසි නෑ. මොකද දිය ඇල්ලේ මීටරයක් විතර උස පහල කොටසක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ ඒක තමයි අවසන කියල. නමුත් එතැනින් ගල් උඩින් පැන පැන යන ගමන ලේසි නොවුනත් ගමන අවසානයේ මීටර 6ක් උස කටුගස් ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. වර්ශාව අඩු කාලයේදී පහසු ගමනක් වුනත් වර්ශාව අධික කාලයේදී නම් දිය ඇල්ල ලඟට යනවා කියන්නේ ජීවිතය මරණය අතර සටනක්. මොකද ලිස්සන ගල් හා සැඩ වතුර කියන දෙක එකතු වෙලා ජීවිත ගනනක් බිලි අරන් තියෙන නිසා.
 
 
 
 
 
තැනින් තැන තියෙන ස්වභාවික පොකුණු වල නාන්න වුනත් පුළුවන්. දිය ඇල්ල පාමුලත් ලස්සන ස්වභාවික පොකුණක් තියෙනවා. ඒකත් නාන්න පුළුවන් තැනක්. නමුත් වතුර වැඩි කාලයේදී නම් ඒ වැඩේ සුදුසුයි කියන්න බෑ. ප්‍රදේශයේ අය වුනත් නාන්න එන මෙතැන මත්ද්‍රව්‍ය පාවිච්චි කරල පොලිතීන් විසි කරල විනාස කරල. මත්පැන් භාවිත කරල නම් මේ තැන යන්න හිතන්න වත් එපා. මොකද ඒ ගමන ඔයාලගේ ජීවිතය අවසන් කරන්න පුළුවන්. 
 
අපූරු සතුන් හා ගස් වැල් ඇති වම් වගේ තැන් වල සුන්දරත්වය විඳින්න. හැබැයි විනාස කරන්නේ නැතිව එන්න.